Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2022 මැයි

2022 මැයි මාසයේ දී නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පසුබෑමක් පෙන්නුම් කරන ලදී.

2022 මැයි මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 50.3ක අගයක් වාර්තා කළ අතර, එය සෑම වසරකම අඩු අගයක් වාර්තා කරන අප්‍රේල් මාසයේ දර්ශක අගයට සාපේක්ෂව දර්ශකාංක 13.9ක වැඩි වීමකි.

අඛණ්ඩව දෙවන මාසයටත් සේවා ක්‍රියාකාරකම්වල පසුබෑමක් පෙන්නුම් කරමින් සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2022 මැයි මාසයේ දී 42.4ක දර්ශක අගයක් දක්වා සුළු වශයෙන් පහත වැටුණි.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 අප්‍රේල්

2022 වසරේ අප්‍රේල් මාසයේ දී ආනයන වියදම වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත අඛණ්ඩව දෙවන මාසයටත් අඩු වීමක් වාර්තා කළ අතර, අපනයන ඉපැයීම් ඉහළ ගියේය. රේගුවෙන් ලද මූලික දත්තවලට අනුව, ආනයනවල අඩුවීම 2022 වසරේ මැයි මස තවදුරටත් ශීඝ්‍ර වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, වෙළඳ හිඟය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා කළේය. මේ අතර, සංචාරක පැමිණීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පෙර මාසයට සාපේක්ෂව 2022 වසරේ අප්‍රේල් මාසයේ දී මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේය. කෙසේ වෙතත්, විදේශීය ජංගම ගිණුමේ ස්ථායීතාවයට සහය දක්වමින් 2022 මැයි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ යළි ඉහළ ගියේය. 2022 වසරේ අප්‍රේල් මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඹ කොටස් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ලැබීම් වාර්තා විය. දේශීය විදේශ විනිමය වෙළඳපොළේ අඛණ්ඩ පීඩනය සැලකිල්ලට ගනිමින්, අවිධිමත් වෙළඳපොළේ ක්‍රියාකාරකම් සීමා කිරීමට සහ නිල සහ අවිධිමත් වෙළඳපොළ විනිමය අනුපාතික අතර පරතරය අඩු කිරීමට උපකාරී වූ විවෘත ගිණුම් සහ භාණ්ඩ විකිණීමෙන් පසු මුදල් ගෙවීමේ පදනම මත සිදුකල ආනයනයන් සීමා කිරීම් ඇතුළු ක්‍රියාමාර්ග 2022 වසරේ මැයි මාසයේදී මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලදී. තවද, පෙර දින අන්තර් බැංකු වෙළඳපොළේ තීරණය වූ විනිමය අනුපාතිකය මත පදනම්ව, මහ බැංකුව විසින් 2022 වසරේ මැයි මස 13වැනි දින සිට සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවලට විචලන මට්ටම (දෙපසටම අදාළ විචලන සීමා ඉඩ හැරීම් සමඟ) පිළිබඳව දෛනික මාර්ගෝපදේශ සැපයීම ආරම්භ කරන ලදී. මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් විනිමය අනුපාතිකයේ ස්ථාවරත්වය වර්ධනය වී ඇත.

වත්මන් විනිමය අනුපාතික සැකැස්ම: පසුබිම, මේ දක්වා ඇතිවූ ධනාත්මක බලපෑම සහ අපේක්ෂිත ප්‍රතිඵල

මෙම සටහන මඟින් මහජනතාවට වත්මන් විනිමය අනුපාතික සැකැස්මේ පසුබිම, මේ වනවිටත් එමඟින් සිදු වී ඇති ධනාත්මක බලපෑම සහ ඉදිරි කාලසීමාව තුළ අපේක්ෂිත ප්‍රතිඵල පැහැදිලි කිරීමට අදහස් කෙරේ.

කො.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය, 2022 මැයි මාසයේ දී තවදුරටත් ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 29.8හි සිට 2022 මැයි මාසයේ දී සියයට 39.1ක් දක්වා ඉහළ ගියේය. මෙම වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 46.6හි සිට 2022 මැයි මාසයේ දී සියයට 57.4 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 22.0හි සිට 2022 මැයි මාසයේ දී සියයට 30.6 දක්වා ඉහළ ගියේය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා අවශ්‍ය වන විදේශ විනිමය බැංකු පද්ධතිය තුළින් සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සිය කැපවීම නැවත තහවුරු කරයි

ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කිරීමේ දී, විවෘත ගිණුම් ක්‍රම (Open Account Payment Terms) හෝ භාණ්ඩ විකිණීමෙන් පසු මුදල් ගෙවීමේ පදනම යටතේ ගෙවීම් (Consignment Account Terms) ක්‍රම භාවිතය කොන්දේසි සහිතව සීමා කරමින්, මුදල් අමාත්‍යාංශය විසින් 2022 වසරේ මැයි මස 06 දින, 2022 අංක 07 දරන ගෙවීම් ක්‍රම සඳහා වූ ආනයන පාලන රෙගුලාසි, 2022 වසරේ මැයි මස 20 දින සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කරන ලදී.

මෙම ක්‍රියාමාර්ගය, දේශීය බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය ද්‍රවශීලතා තත්ත්වයන් වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන අනෙකුත් විවිධ ක්‍රියාමාර්ග සමඟ සම්බන්ධ වේ.

නිහාල් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට පත් කරයි

ඇන්තනී නිහාල් ෆොන්සේකා මහතා 2022 මැයි 26 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකයෙකු ලෙස යළි පත් කරන ලදී. මින් පෙර, ඔහු 2016 ජුලි මාසයේ සිට 2020 මැයි මාසය දක්වා මුදල් මණ්ඩලයෙහි සේවය කළේය.

කොළඹ ලංකා විශ්වවිද්‍යාලයෙන් තම විද්‍යාවේදී උපාධිය ලබා ගත් ඒ මහතා, එක්සත් රාජධානියේ වරලත් බැංකුකරුවන්ගේ ආයතනයේ අධි සාමාජිකයෙකු වන අතර, එක්සත් රාජධානියේ වරලත් සුරැකුම්පත් සහ ආයෝජන ආයතනයේ ගරු අධි සාමාජිකයෙකි. ඔහු ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පොදු සමාගමෙහි ජ්‍යෙෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂ සහ සමූහ විගණන කමිටුවේ සභාපති, සී/ස ෆීනික්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගමෙහි සභාපති, බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමෙහි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු සහ විගණන කමිටුවේ සභාපති, සී/ස ෆීනික්ස් වෙන්චර්ස් සමාගමෙහි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු සහ ආයෝජන කමිටුවේ සභාපති ලෙස ද කටයුතු කරයි.

Pages