ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 මැයි 06 වැනි දින මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ශ්‍රී ලංකා හරිත මූල්‍ය වර්ගීකරණය (Sri Lanka Green Finance Taxonomy) හඳුන්වා දෙනු ලැබීය. ශ්‍රී ලංකා හරිත මූල්‍ය වර්ගීකරණය යනු පාරිසරික වශයෙන් තිරසාර ආර්ථික ක්‍රියාකාරකම් නිර්වචනය කර වර්ගීකරණය කරන පද්ධතියක් වන අතර, එය 2019 දී මහ බැංකුව විසින් හඳුන්වා දුන් ශ්‍රී ලංකාව සඳහා වන තිරසාර මූල්‍ය පෙර දැක්මෙහි (Roadmap for Sustainable Finance in Sri Lanka) දක්වා ඇති ප්‍රධාන අංගයකි. මෙම වර්ගීකරණය ජාත්‍යන්තර මනා පරිචයන්ට මෙන් ම, දේශීය තත්වයන්ට අනුකූලව සකස් කර ඇති බැවින් මූල්‍ය වෙළෙඳපොළ ක්‍රියාකාරීන්ට දේශීය මෙන් ම විදේශීය වෙළෙඳපොළ හරහා හරිත කටයුතු සඳහා අඩු පිරිවැය සහිත අරමුදල් රැස් කිරීමට හැකි වනු ඇති බවට අපේක්ෂා කෙරේ.















