Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

සේවක අර්ථසාධක අරමුදල විසින් ආයෝජනය කර ඇති ලැයිස්තුගත සමාගම්හි වෙළෙඳපොල වටිනාකම 2021 වර්ෂය අවසානයේදී, පිරිවැය වූ රු‍පියල් බිලියන 84ට සාපේක්ෂව රුපියල් බිලියන 112ක් ලෙස වාර්තා විය‍: රුපියල් බිලියන 28 ක ඉහළයාමක්

මුදල් මණ්ඩලය විසින් කළමනාකරණය වන සේවක අර්ථසාධක අරමුදල (සේ.‍අ.අ), ශ්‍රී ලංකාවෙහි දැනට පවතින විශාලතම විශ්‍රාම අරමුදල වේ. අරමුදලෙහි වටිනාකම ආරක්ෂාකර ගනිමින් සාමාජිකයින්ට උපරිම ප්‍රතිලාභ ලබාදීමේ දිගුකාලීන අරමුණ ඇතිව එහි ආයෝජන කළඹ පවත්වාගෙන යනු ලැබේ. නිශ්චිත අවදානම් පරාමිතීන් යටතේ පාලනය වන මෙම අරමුදලෙන් සියයට අනූ හතරක් රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර ඇති අතර, ඉතිරිය ලැයිස්තුගත හා ලැයිස්තුගත නොකළ සමාගම් කොටස්, සාංගමික ණයකර, භාරකාර සහතික හා වෙනත් මුදල් වෙළෙඳපොල උපකරණවල ආයෝජනය කර ඇත. මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද උපාය මාර්ගික වත්කම් වෙන් කිරීමේ නියමිත සීමාවන්ට යටත්ව, අනුමත කරන ලද වත්කම් පංතිවල ආයෝජනය කිරීම මඟින් විවිධාංගීකරණය වූ ආයෝජන කළඹක් සේ.අ.අ. පවත්වාගෙන යනු ලැබේ. 2020 දෙසැම්බර් 31 වෙනි දිනට සේ.අ.අ. ආයෝජන කළඹෙහි වෙළෙඳපොල වටිනාකම රුපියල් බිලියන 3,243 ක් විය.

2022 වසරේ ජනවාරි මාසයේ දී කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වෙනුවෙන් රජයට ඇති විදේශීය ණය වගකීම පියවීම සඳහා පියවර ගෙන තිබිය දී එස් ඇන්ඩ් පී ආයතනය විසින් අසාධාරණ ලෙස ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීම

ශ්‍රී ලංකා රජය විසින් සිය කල්පිරෙන විදේශ ණය වගකීම් ආපසු ගෙවීමට ප්‍රමාණවත් අරමුදල් නිසි පරිදි සම්පාදනය කර ඇති අවස්ථාවක, සහ 2022 වසරේ ජනවාරි 18 දින කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ඇතුළු ණය සේවාකරණ ගෙවීම් පියවීමට ඇති දැඩි කැපවීම පිළිබඳව නැවත නැවතත් සහතික කර ඇති පසුබිමක, එස් ඇන්ඩ් පී ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් අද දින සිදු කරන ලද ණය ශ්‍රේණිගත කිරීමට අදාළ නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කණස්සල්ලට පත් වී ඇත.

නිල සංචිත තත්ත්වයෙහි සංයුතිය පිළිබඳ පැහැදිලි කිරීම

මහ බැංකුවක ජාත්‍යන්තර සංචිත කළමනාකරණය යනු ගතික සහ තාක්ෂණික ක්‍රියාවලියක් වන අතර, එය සාමාන්‍යයෙන් සැලසුම් කර ඇත්තේ රටක විදේශ වත්කම් අවශ්‍ය විටෙක උපයෝගි කරගත හැකි බව සහ නිශ්චිත පරාසයක අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පාලනය කළ හැකි බව සහතික කිරීම සඳහා ය. ඒ අනුව, ආයෝජන උපකරණවල වත්කම් සංයුතිය, ව්‍යවහාර මුදල් මිශ්‍රණය, ද්‍රවශීලතා අවශ්‍යතා, කල් පිරීමේ කාලසීමාව, ලාභදායිත්වය, ආරක්ෂාව යනාදිය සම්බන්ධයෙන් උචිත සංචිත කළමනාකරණ ප්‍රතිපත්ති අනුගමනය කිරීම රටින් රටට වෙනස් විය හැකි අතර, එය රටෙහි විශේෂිත තත්ත්වයන් සහ ආර්ථික ප්‍රමුඛතා මත රඳා පවතී.

අපනයන ඉපැයීම් රට වෙත යළි ගෙන්වා ගැනීම හා එම මුදල් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ආකර්ෂණය කරගැනීමේ අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය

අපනයන ආදායම් රට වෙත යළි ගෙන්වා ගැනීම හා එම මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී නිකුත් කරන ලද නීති ඇතැම් පාර්ශ්වයන් විසින් වැරදි ලෙස අර්ථකථනය කර ඇත. විශේෂයෙන්ම, බලපත්‍රලාභී බැංකුවලට විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීමෙන් පසු, එම සියලුම ප්‍රේෂණ මහ බැංකුවේ නීතිරීතිවලට අනුකුලව බලහත්කාරයෙන් පරිවර්තනය කරනු ලබන බවට පදනම් විරහිත මතයක් ව්‍යාප්ත වී ඇත. විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීම්, අපනයන ආදායම් පරිවර්තනය කිරීමේ නීතිවලට යටත් නොවේ. බලපත්‍රලාභී බැංකු සහ වෙනත් විධිමත් මාර්ග හරහා තම ඉපැයීම් යොමු කරන සංක්‍රමණික සේවකයන්ට ඕනෑම වාණිජ බැංකුවක එවැනි අරමුදල් විදේශ විනිමය වශයෙන් තබාගත හැකිය. ඒ අනුව විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් තම ප්‍රේෂණ ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය නොවේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි "විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රමය" යටතේ එසේ කිරීමට සුදුසුකම් ලබන, එම ඉපැයීම් ශ්‍රී ලංකා රුපියලට පරිවර්තනය කිරීමට අපේක්ෂා කරනු ලබන පුද්ගලයන් හට 2022 වසරේ ජනවාරි 31 දක්වා එ.ජ.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කිරීම

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2022 ජනවාරි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී.

2021 දෙසැම්බර් මස උද්ධමනය - කො.පා.මි.ද.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 9.9හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 12.1 දක්වා ඉහළ ගියේය. මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 5.3හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 6.0 දක්වා ඉහළ ගියේය. ගැඹුරු විශ්ලේෂණයකින් අනතුරුව පෙනී යන්නේ වත්මන් උද්ධමනය සදහා ප්‍රධාන වශයෙන් සැපයුම් අංශයේ සාධක බලපා ඇති බවයි. මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රකාශයට පත් කරනු ඇත.

උද්ධමනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 17.5හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 22.1 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 6.4හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 7.5 දක්වා ඉහළ ගියේය.

Pages