Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 අගෝස්තු

2022 වසරේ අගෝස්තු මාසයේ දී ආනයන වියදම්, 2022 වසරේ ජූලි මාසයට සාපේක්ෂව ඉහළ යෑමක් වාර්තා වුවද, අඛණ්ඩව සයවන මාසයටත් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගියේය. විදේශ විනිමය ද්‍රවශීලතා හිඟය හමුවේ අත්‍යවශ්‍ය ආනයන සඳහා ප්‍රමුඛතාවය ලබා දීමේ අවශ්‍යතාවය සලකා බලමින්, රජය විසින් 2022 වසරේ අගෝස්තු මාසයේ දී හදිසි නොවන ආනයන සීමා කිරීමේ ක්‍රියාමාර්ග දැඩි කළ ද, 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී එම සීමා තරමක් දුරට ලිහිල් කරන ලදී. මේ අතර, 2022 වසරේ අප්‍රේල් මාසයේ සිට නිරීක්ෂණය කරන ලද වර්ධන ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වා ගනිමින් අපනයන ඉපැයීම් 2022 වසරේ අගෝස්තු මාසයේ දී ඉහළ ගියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2022 වසරේ අගෝස්තු මාසයේ දී වෙළඳ ගිණුමේ හිඟය පෙර වසරට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස පහළ යෑමක් වාර්තා කළේය. 2022 වසරේ ජූලි මාසයට සාපේක්ෂව, 2022 වසරේ අගෝස්තු මාසයේ දී සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ ගියේය. සංචාරක ඉපැයීම් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසදීමේ දී 2022 වසරේ අගෝස්තු මාසයේ දී වැඩිවීමක් වාර්තා කළේය. 2022 වසරේ අගෝස්තු මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙතින් විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ගෙවීමක් වාර්තා කළ අතර, කොළඹ කොටස් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ලැබීමක් වාර්තා විය.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 ඔක්තෝබර් මස 05 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. මෙම තීරණයට එළඹීමේදී, මුදල් මණ්ඩලය විසින් නවතම සාර්ව ආර්ථික තත්ත්වයන්, අපේක්ෂිත වර්ධනයන් සහ සාර්ව ආර්ථික පුරෝකථන සලකා බලන ලදී. මුදල් මණ්ඩලය විසින් දැනට පවතින දැඩි මුදල් තත්ත්වය, උද්ධමනය ඉහළ යෑමේ වේගය අඩු වීම සහ දේශීය හා ගෝලීය සාධකවල සහාය ලබමින් නුදුරු කාලීනව අපේක්ෂිත උද්ධමනය අඛණ්ඩව පහළ යෑමේ ක්‍රියාවලිය සලකා බලන ලදී. ඉදිරි කාලය තුළ අපේක්ෂිත උද්ධමනය අඛණ්ඩව පහළ යෑමේ ක්‍රියාවලිය සාක්ෂාත් කර ගැනීම සඳහා මුදල් තත්ත්වය ප්‍රමාණවත් තරම් දැඩිව පවතින බව මුදල් මණ්ඩලයේ අදහස විය. දැනටමත් ක්‍රියාත්මක වන දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම් සඳහා දැඩි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සහාය වනු ඇති අතර සමස්ත ඉල්ලුම් පීඩන ගොඩනැගීම අවම කිරීමටත් එමගින් උද්ධමන අපේක්ෂා පාලනය කිරීමට සහ මැදි කාලීනව මතුපිට උද්ධමනය ඉලක්කගත සියයට 4-6 මට්ටම දක්වා පහළ දැමීමට එම ක්‍රියාමාර්ග උපකාරී වනු ඇත.

කො.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 69.8ක් වශයෙන් වාර්තා විය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 64.3හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 69.8ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 93.7හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 94.9 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 50.2හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 57.6 දක්වා ඉහළ ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව - ආසියානු සංවර්ධන බැංකු ආයතනය - ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය ඒකාබද්ධ තෙවන මාර්ගගත සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සම-සත්කාරකත්වය දැරීය

ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ (Asian Development Bank Institute-ADBI) සහ ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමයේ (Asia-Pacific Applied Economics Association-APAEA) සහයෝගය ඇතිව, 2022 වසරේ සැප්තැම්බර් මස 23 වැනි දින පැවැත්වූ ශ්‍රී ලංකා මහ බැංකුව-ආසියානු සංවර්ධන බැංකු ආයතනය-ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය එ්කාබද්ධ මාර්ගගත සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව තුන්වන වසර සඳහාත් සම-සත්කාරකත්වය දැරීය. මෙම වසරේ තේමාව පෙර වසරේ මෙන්ම 'සාර්ව ආර්ථික ස්ථායීතාව සඳහා මතුවෙමින් පවතින ගැටලු' (‘Emerging Issues for Macroeconomic Stability’) ලෙස දැක්විණි.

ජා.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2022 අගෝස්තු මාසයේ දී සියයට 70.2ක් වශයෙන් වාර්තා විය

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ජූලි මාසයේ පැවති සියයට 66.7හි සිට 2022 අගෝස්තු මාසයේ දී සියයට 70.2ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ජූලි මාසයේ පැවති සියයට 82.5හි සිට 2022 අගෝස්තු මාසයේ දී සියයට 84.6 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ජූලි මාසයේ පැවති සියයට 52.4හි සිට 2022 අගෝස්තු මාසයේ දී සියයට 57.1 දක්වා ඉහළ ගියේය.

2022 අගෝස්තු මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 2.45ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 0.91කින් සහ සියයට 1.53කින් ඉහළ යෑම මේ සදහා හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩය තුළ, නැවුම් මත්ස්‍ය, බිත්තර, බිස්කට්, සහ පලතුරු මිල ගණන් ඉහළ ගියේය. එසේ වුවද, පරිප්පු, සහල්, සහ සීනි මිල ගණන් වල පහළ යෑමක් මෙම මාසය තුළ දී වාර්තා විය. මේ අතර, ආහාර නොවන කාණ්ඩය තුළ 2022 අගෝස්තු මාසයේ දී, නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (විදුලිය, නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ භූමිතෙල්), ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තුව (සබන්), හා විවිධ භාණ්ඩ සහ සේවා යන උප කාණ්ඩයන්හි  අයිතමවල මිල ගණන් ඉහළ ගියේය. ප්‍රවාහන (පෙට්‍රල්, ඩීසල් සහ බස් ගාස්තු) උප කාණ්ඩයේ සැලකිය යුතු පහළ යාමක් මෙම මාසය තුළ වාර්තා විය.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2022 අගෝස්තු

2022 අගෝස්තු මාසයේ දී නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක ඉහළ යන ලදී.

2022 අ‍ගෝස්තු මාස‍යේ දී ගැණුම් කළමණාකරුවන්ගේ දර්ශකය, දර්ශක අංක 49.6ක් වෙමින් දර්ශකයෙහි කඩඉම් මට්ටමට මදක් පහළ අගයක් වාර්තා කළ ද ජූලි මාසයට සාපේක්ෂව ඉහළ අගයක පැවතුණි.

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, අඛණ්ඩව මාස හතරක් පහත වැටීමෙන් පසුව 2022 අගෝස්තු මාසයේ දී 51.7ක දර්ශක අගයක් වාර්තා කරමින් වර්ධන කලාපයට නැවත ලඟා විය.

Pages