Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය (ITRS) හඳුන්වා දෙයි

බැංකු පද්ධතිය හරහා සිදුවන ජාත්‍යන්තර ගනුදෙනු සහ දේශීය විදේශ මුදල් ගනුදෙනු අධීක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනිමින්, බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල සහභාගීත්වය සහිතව ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය නමින් නව දත්ත රැස් කිරීමේ පද්ධතියක් ක්‍රියාත්මක කර ඇත. ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය යනු දේශසීමාවන් අතර සිදුවන ගනුදෙනු සහ දේශීය විදේශ මුදල් ගනුදෙනු පිළිබඳ සවිස්තරාත්මක දත්ත රැස් කිරීමේ පද්ධතියක් වන අතර, මෙමගින් දැනට පවතින දත්තයන්හි අඩුපාඩු රාශියක් පිරවීමට හැකිවනු ඇත. එමෙන්ම එය සංඛ්‍යානමය සහ නියාමන අරමුණු සඳහා විවිධ පැතිකඩ රැසක දත්ත සැපයීමෙන් ප්‍රතිපත්ති සම්පාදනයට උපකාර වනු ඇත. අපනයන ඉපැයීම්, ආනයන, තොරතුරු තාක්ෂණය මත පදනම් වූ ව්‍යාපාර ක්‍රියාවලි බාහිර මුලාශ්‍ර වෙත පැවරීම වැනි සේවා ගිණුමේ ගනුදෙනු, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, මූල්‍ය ගිණුම් ගනුදෙනු ඇතුළු ගෙවුම් තුලන සංඛ්‍යාන වැඩි දියුණු කිරීම සහ තවත් බොහෝ සංඛ්‍යාන දත්ත ආදාන ඇතුළුව අරමුණු ගණනාවක් ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය මඟින් ඉටු කරනු ඇත.

ජා.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය, 2022 මැයි මාසයේ දී තවදුරටත් ඉහළ ගියේය

 ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 33.8හි සිට 2022 මැයි මාසයේ දී සියයට 45.3ක් දක්වා ඉහළ ගියේය. මෙම වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 45.1හි සිට 2022 මැයි මාසයේ දී සියයට 58.0 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 23.9හි සිට 2022 මැයි මාසයේ දී සියයට 34.2 දක්වා ඉහළ ගියේය.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2022 මැයි

2022 මැයි මාසයේ දී නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පසුබෑමක් පෙන්නුම් කරන ලදී.

2022 මැයි මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 50.3ක අගයක් වාර්තා කළ අතර, එය සෑම වසරකම අඩු අගයක් වාර්තා කරන අප්‍රේල් මාසයේ දර්ශක අගයට සාපේක්ෂව දර්ශකාංක 13.9ක වැඩි වීමකි.

අඛණ්ඩව දෙවන මාසයටත් සේවා ක්‍රියාකාරකම්වල පසුබෑමක් පෙන්නුම් කරමින් සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2022 මැයි මාසයේ දී 42.4ක දර්ශක අගයක් දක්වා සුළු වශයෙන් පහත වැටුණි.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 අප්‍රේල්

2022 වසරේ අප්‍රේල් මාසයේ දී ආනයන වියදම වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත අඛණ්ඩව දෙවන මාසයටත් අඩු වීමක් වාර්තා කළ අතර, අපනයන ඉපැයීම් ඉහළ ගියේය. රේගුවෙන් ලද මූලික දත්තවලට අනුව, ආනයනවල අඩුවීම 2022 වසරේ මැයි මස තවදුරටත් ශීඝ්‍ර වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, වෙළඳ හිඟය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා කළේය. මේ අතර, සංචාරක පැමිණීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පෙර මාසයට සාපේක්ෂව 2022 වසරේ අප්‍රේල් මාසයේ දී මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේය. කෙසේ වෙතත්, විදේශීය ජංගම ගිණුමේ ස්ථායීතාවයට සහය දක්වමින් 2022 මැයි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ යළි ඉහළ ගියේය. 2022 වසරේ අප්‍රේල් මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඹ කොටස් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ලැබීම් වාර්තා විය. දේශීය විදේශ විනිමය වෙළඳපොළේ අඛණ්ඩ පීඩනය සැලකිල්ලට ගනිමින්, අවිධිමත් වෙළඳපොළේ ක්‍රියාකාරකම් සීමා කිරීමට සහ නිල සහ අවිධිමත් වෙළඳපොළ විනිමය අනුපාතික අතර පරතරය අඩු කිරීමට උපකාරී වූ විවෘත ගිණුම් සහ භාණ්ඩ විකිණීමෙන් පසු මුදල් ගෙවීමේ පදනම මත සිදුකල ආනයනයන් සීමා කිරීම් ඇතුළු ක්‍රියාමාර්ග 2022 වසරේ මැයි මාසයේදී මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලදී. තවද, පෙර දින අන්තර් බැංකු වෙළඳපොළේ තීරණය වූ විනිමය අනුපාතිකය මත පදනම්ව, මහ බැංකුව විසින් 2022 වසරේ මැයි මස 13වැනි දින සිට සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවලට විචලන මට්ටම (දෙපසටම අදාළ විචලන සීමා ඉඩ හැරීම් සමඟ) පිළිබඳව දෛනික මාර්ගෝපදේශ සැපයීම ආරම්භ කරන ලදී. මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් විනිමය අනුපාතිකයේ ස්ථාවරත්වය වර්ධනය වී ඇත.

වත්මන් විනිමය අනුපාතික සැකැස්ම: පසුබිම, මේ දක්වා ඇතිවූ ධනාත්මක බලපෑම සහ අපේක්ෂිත ප්‍රතිඵල

මෙම සටහන මඟින් මහජනතාවට වත්මන් විනිමය අනුපාතික සැකැස්මේ පසුබිම, මේ වනවිටත් එමඟින් සිදු වී ඇති ධනාත්මක බලපෑම සහ ඉදිරි කාලසීමාව තුළ අපේක්ෂිත ප්‍රතිඵල පැහැදිලි කිරීමට අදහස් කෙරේ.

කො.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය, 2022 මැයි මාසයේ දී තවදුරටත් ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 29.8හි සිට 2022 මැයි මාසයේ දී සියයට 39.1ක් දක්වා ඉහළ ගියේය. මෙම වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 46.6හි සිට 2022 මැයි මාසයේ දී සියයට 57.4 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 22.0හි සිට 2022 මැයි මාසයේ දී සියයට 30.6 දක්වා ඉහළ ගියේය.

Pages