Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2023 ඔක්තෝබර්

2023 වසරේ ඔක්තෝබර් මාසයේ දී ප්‍රධාන වශයෙන් ඇඟලුම් අපනයනවල අඩු ක්‍රියාකාරිත්වය තුලින් අපනයන ඉපැයීම් පහළ යෑම මෙන්ම ඉන්ධන ආනයන වියදම් ඉහළ යෑම තුලින් ආනයන වියදම් ඉහළ යෑම හේතුවෙන් වෙළඳ හිඟය 2022 වසරේ ඔක්තෝබර් මාසයට මෙන්ම 2023 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව පුළුල් විය. 

2023 වසරේ ඔක්තෝබර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එ.ජ. ඩොලර් මිලියන 500 ඉක්ම වූ අතර, සංචාරක ඉපැයීම් පෙර වසර සමඟ සසඳන විට 2023 වසරේ ඔක්තෝබර් මාසයේ දී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළේය.

2023 වසරේ ඔක්තෝබර් මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශ ආයෝජන අඛණ්ඩව ශුද්ධ ගෙවීමක් වාර්තා  කල ද  වසරේ මේ දක්වා ශුද්ධ ලැබීම් වාර්තා කර ඇත.

2023 වසරේ ඔක්තෝබර් මාසය අවසාන වන විට දළ නිල සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 3.6ක් විය.

2023 වසරේ ඔක්තෝබර් මාසය තුළ දී ශ්‍රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව පුළුල් ලෙස ස්ථාවරව පැවතුණි.

ජර්මනියේ බර්ලින් නුවර පැවති ආර්ථික සංවාද මාලාවේදී ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිතුමා විසින් ශ්‍රී ලංකාවේ උද්ධමනය පාලනය කරගනිමින් සාර්ථකත්වය ළඟා කරගත් ආකාරය ඉදිරිපත් කරන ලදී

"උද්ධමනය ප්‍රජාතන්ත්‍රවාදය නසා දමයි: ප්‍රජාවගේ ක්‍රියාකාරීත්වයේ පදනම ලෙස රාජ්‍ය මූල්‍ය තාර්කිකත්වය" යන තේමාව යටතේ බර්ලින් නුවර පැවති ආර්ථික සංවාද මාලාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ලද ආරාධනය අනුව සහභාගී විය. මෙම උත්සවය ජර්මනියේ මුදල් අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලදී. 2022 වසරේදී වාර්තාගත ඉහළ අගයකින් පසුව ශ්‍රී ලංකාවේ උද්ධමනය පාලනය කිරීමේ සාර්ථකත්වය පිළිබදව අධිපති වීරසිංහ මහතා විසින් එහිදී කරුණු ඉදිරිපත් කළේය. ඔහුගේ දේශනයේදී, උද්ධමනය පාලනය කිරීමට මහ බැංකුව සහ රජය ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළ අතර උද්ධමනය අවම කිරීමේ උපාය මාර්ගය සහ ක්‍රියාවලිය පිළිබඳ අත්දැකීම් ඉදිරිපත් කරන ලදී.

ජර්මනියේ මුදල් අමාත්‍ය ක්‍රිස්ටියන් ලින්ඩ්නර් මහතා; යුරෝපීය මහ බැංකුවේ සභාපති ක්‍රිස්ටීන් ලගාර්ඩ් මහත්මිය; සහ ලන්ඩන් ආර්ථික විද්‍යාලයේ මහාචාර්ය ඇල්බෙච් රිට්ච්ල් මහතා ද මෙම සමුළුවට සහභාගී වූ අනෙකුත් කථිකයන් අතර වූහ.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (ඉදිකිරීම්) - ඔක්තෝබර් 2023

ඉදිකිරීම් කටයුතු සඳහා වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මාස විස්සක අඛණ්ඩ පහත වැටීමකින් අනතුරුව 2023  ඔක්තෝබර් මාසයේ දී දර්ශකාංක 50.0ක කඩඉම් මට්ටමට ලඟා විය. මෙහිදී, රජය විසින් අත්හිටුවා තිබු ඇතැම් ඉදිකිරීම් ව්‍යාපෘති සීමිත වශයෙන් නැවත ආරම්භ කරනු ලැබූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ සමහරක් සඳහන් කරනු ලැබීය.  කෙසේ වුවද, වර්තමානයේ ක්‍රියාත්මක බොහෝ ව්‍යාපෘති ඒවායේ අවසන් භාගයේ පවතින බැවින් සමස්තයක්  වශයෙන් ඉදිකිරීම් කර්මාන්තයේ දැනට පවතින වැඩ ප්‍රමාණය අඩු මට්ටමක පවතී.

මුදල් ප්‍රතිපත්ති විවරණය: අංක 08 - 2023 නොවැම්බර්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2023 නොවැම්බර් මස 23 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 9.00 සහ සියයට 10.00 දක්වා පදනම් අංක 100කින් අඩු කිරීමට තීරණය කළේය. ආර්ථිකයට එහි විභව නිමැවුම් මට්ටමට ළඟා වී එම මට්ටමේ ස්ථායී වීමට සහාය වෙමින්, මැදි කාලීනව උද්ධමනය ඉලක්කගත සියයට 5ක මට්ටමට ළඟා කර ගැනීමේ හා පවත්වාගෙන යෑමේ අරමුණින්, දේශීය හා ගෝලීය ආර්ථිකයේ වත්මන් සහ අපේක්ෂිත ප්‍රවණතා පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. දේශීය හා ගෝලීය වශයෙන් අපේක්ෂිත ප්‍රවණතා මගින් ඇති වන සැපයුම් අංශයේ සාධක හේතුවෙන් නුදුරු කාලීන උද්ධමන පුරෝකථන සඳහා ඇති විය හැකි ඉහළ යෑමේ අවදානම් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී. කෙසේ වෙතත්, මහජනතාවගේ උද්ධමන අපේක්ෂා පාලනය වී ඇති නිසාත් ආර්ථික ක්‍රියාකාරකම් නුදුරු කාලයේ සිට මැදි කාලය දක්වා විභව නිමැවුම් මට්ටමට වඩා අඩු මට්ටමක පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති නිසාත්, එවැනි නුදුරු කාලීන උද්ධමනය ඉහළ යෑමේ අවදානම් මැදි කාලීන උද්ධමන ඉදිරි දැක්ම වෙනස් නොකරනු ඇති බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අදහස විය. තවද, මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කිරීම මෙන්ම 2023 වසරේ ජූනි මස සිට ක්‍රියාත්මක කරන ලද මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සමඟ මැදි කාලීනව උද්ධමනය ස්ථායී කිරීම සඳහා ප්‍රමාණවත් මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමක් සිදු වී ඇති බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අදහස විය. එබැවින්, ඉදිරි කාලසීමාව තුළදී වෙළඳපොළ පොලී අනුපාතික සාමාන්‍යකරණය කිරීම වේගවත් කරමින්, මූල්‍ය ආයතන විසින් මුදල් ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග කඩිනමින් සහ පූර්ණ වශයෙන් වෙළඳපොළ පොලී අනුපාතික, විශේෂයෙන්ම ණය පොලී අනුපාතික, වෙත සම්ප්‍රේෂණය කිරීමේ අවශ්‍යතාවය මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් අවධාරණය කරන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සංයුතිය

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත ප්‍රකාර ව, ශ්‍රී ලංකා මහ බැංකුවේ පරිපාලනමය සහ කළමනාකරණ කටයුතු පාලනය කිරීමට සහ මහ බැංකුවේ පොදු ප්‍රතිපත්ති තීරණය කිරීම සඳහා වගකිව යුතු ආයතනය ලෙස ශ්‍රී ලංකා මහ බැංකු පාලක මණ්ඩලය පිහිටුවා ඇත.මෙම නීතියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මින් පෙර පැවති මුදල් මණ්ඩලයේ පත්කළ සාමාජිකයන් මහ බැංකුවේ පාලක මණ්ඩල සාමාජිකයන් ලෙස අඛණ්ඩ ව කටයුතු කරයි. 

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (නිෂ්පාදන සහ සේවා) - ඔක්තෝබර් 2023

2023 ඔක්තෝබර් මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සුළු වශයෙන් පහත වැටීමක් ද සේවා ක්‍රියාකාරකම්වල ඉහළ යෑමක් ද පෙන්නුම් කරන ලදී.

2023 ඔක්තෝබර් මාසයේදී ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය දර්ශකාංක 49.5ක අගයක් වාර්තා කරමින්  කඩඉම් මට්ටම කරා ආසන්න විය. උප-දර්ශක සලකන විට දී, නව ඇණවුම් සහ තොග මිලදී ගැනුම් මෙම මාසයේ දී ඉහළ ගිය අතර, නිෂ්පාදන සහ සේවා නියුක්තිය පහළ අගයක පැවතුණි. 

සේවා ක්‍රියාකාරකම්හි අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින්, සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2023 ඔක්තෝබර් මාසයේ දී දර්ශකාංක 56.2ක් වාර්තා කළේය. මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි සිදු වූ ඉහළ යෑම් හේතු විය. කෙසේ වුවද, 2023 ඔක්තෝබර් මාසය තුළ දී නිමකිරීමට නියමිත කාර්යයන් සහ සේවා නියුක්තිය පහළ ගියේය. 

සම්පුර්ණ ලිපිය

Pages