ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 ජනවාරි මස 16 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විවට වෙළඳපොළ කටයුතු යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා සපයනු ලබන නිත්‍ය තැන්පතු පහසුකම භාවිතා කිරීම සීමා කරන ලදී. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම සඳහා ප්‍රවේශ වීම දිනදර්ශිත මාසයක වාර පහක (05) උපරිමයකට සීමා වූ අතර, බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා ලබා දෙන නිත්‍ය ණය පහසුකම අදාළ දිනයකදී ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවයෙන් සියයට 90 කට සීමා කරන ලදී. මහ බැංකුව විසින් ලබාදෙනු ලබන එක් දින නිත්‍ය පහසුකම මත පැවති ඉහළ රැඳියාව අඩු කිරීම මෙන්ම, දේශීය මුදල් වෙළඳපොළ තුළ, විශේෂයෙන්ම සැලකිය යුතු කාලයක් අක්‍රීයව පැවැති ඒක්ෂණ මුදල් වෙළඳපොළ සක්‍රීය කරවීම සඳහා සහ බලපත්‍රලාභී වාණිජ බැංකුවලට ඔවුන්ගේ ද්‍රවශීලතා කළමනාකරණය සම්බන්ධයෙන් පැවැති දුර්වලතා නිවැරදි කිරීම සඳහා අවශ්‍ය අභ්‍යන්තර ක්‍රියාමාර්ග ගැනීම සඳහා පෙළඹවීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ග ගනු ලැබීය.















