Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් පවත්නා වැරදි තොරතුරු පැහැදිලි කිරීම

ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් වර්තමානයේ මහජනතාව අතර සංසරණය වන සමහර වැරදි අර්ථකථන, පැහැදිලි කිරීම මෙමඟින් බලාපොරොත්තු වේ.

ජාත්‍යන්තර වෙළෙඳාම සහ දේශ සීමා අතර සිදුවන බැංකු ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වරින් වර තෝරාගත් විදේශ ව්‍යවහාර මුදල්, නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් ලෙස අනුමත කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 1979 මැයි මස සිට වරින් වර නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් හඳුනාගෙන ඇත. 2022 අගෝස්තු මාසයේ දී අලුතෙන් ම නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගය වූ ඉන්දියානු රුපියල ඇතුළු ව, බැංකු පනත සහ විදේශ විනිමය පනත යටතේ පවත්නා විධිවිධාන අනුව, දැනට විදේශ ව්‍යවහාර මුදල් වර්ග 16ක් අනුමත වී ඇති අතර, ඒවා පහත පරිදි වේ.

කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය, මාස දහනවයකට පසුව 2023 ජූලි මාසයේ දී නැවතත් තනි අගයක මට්ටමට ළගා විය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ජුනි මාසයේ වාර්තා වූ සියයට 12.0හි සිට 2023 ජූලි මාසයේ දී සියයට 6.3 දක්වා පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, 2023 ජූලි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන ලද උද්ධමනය පහළ යෑමේ ප්‍රවණතාවට බොහෝ දුරට අනුකූල වේ.

ආහාර කාණ්ඩය, වසර හතරකට ආසන්න කාලයකට පසුව, 2023 ජුනි මාසයේ පෙන්නුම් කළ සියයට 4.1ක වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනයට සාපේක්ෂව 2023 ජූලි මාසයේ දී සියයට 1.4ක අවධමනයක් වාර්තා කළේය. මේ අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 ජුනි මාසයේ පැවති සියයට 16.2හි සිට 2023 ජූලි මාසයේ දී සියයට 10.5 දක්වා තවදුරටත් පහළ ගියේය. ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල දක්නට ලැබුණු සියයට -1.13ක මිල පහළ යෑමේ සහ ආහාර කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට 0.01ක සුළු මිල ඉහළ යෑමේ ඒකාබද්ධ බලපෑම හේතුවෙන් 2023 ජූලි මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික වෙනස සියයට -1.12ක් ලෙස වාර්තා විය. තවද, ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2023 ජුනි මාසයේ පැවති සියයට 9.8හි සිට 2023 ජූලි මාසයේ දී සියයට 6.1 දක්වා පහළ ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රථම මුදල් ප්‍රතිපත්ති වාර්තාව (2023 ජූලි) ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රථම මුදල් ප්‍රතිපත්ති වාර්තාව අද දින (2023 ජූලි මස 31 වැනි දින) ප්‍රකාශයට පත් කළේය.

මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කිරීම මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල විනිවිදභාවය වැඩිදියුණු කිරීම සඳහා වැදගත් පියවරක් වන අතර මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සලකා බලන ලද දත්ත සහ තොරතුරු ප්‍රකාශයට පත් කිරීම තුළින් ආර්ථිකයේ සියලුම පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වීම තවදුරටත් වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.

දේශීය හා ගෝලීය වශයෙන් වත්මන් සාර්ව ආර්ථික ප්‍රවණතා සහ ඒවායේ ඉදිරි දැක්ම විශ්ලේෂණය කිරීම මත පදනම්ව උද්ධමනය සහ අනෙකුත් ප්‍රධාන සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ හැසිරීම පිළිබඳව මහ බැංකුවේ ඉදිරි දැක්ම මුදල් ප්‍රතිපත්ති වාර්තාව මගින් ඉදිරිපත් කරයි. මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ තවත් අරමුණක් වන්නේ දැනට පවතින සහ අපේක්ෂිත ප්‍රවණතා සලකා බලමින් උද්ධමනය සහ ආර්ථික වර්ධනය පිළිබඳව සිදුකර ඇති පුරෝකථන සඳහා පවතින අවදානම් පිළිබඳ තක්සේරුවක් ලබා දීමයි. එවැනි ඇගයීමක් මගින් මුදල් ප්‍රතිපත්ති තීරණවලට එළැඹීමේදී මුදල් මණ්ඩලයේ දැක්ම පිළිබඳව සියලු පාර්ශ්වකරුවන්ට වඩාත් පැහැදිලි අවබෝධයක් ලබා දීමට උපකාරී වනු ඇත.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2023 ජූනි

අපනයන ඉපැයීම් 2023 වසරේ ජූනි මාසයේ දී අඛණ්ඩව දෙවන මාසය සඳහා ද එ.ජ. ඩොලර් බිලියන 1.0ක් ඉක්මවූ අතර ආනයන වියදම පසු ගිය මාසයට සාපේක්ෂව අඩු විය.

2023 වසරේ ජුනි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව අඛණ්ඩව කැපී පෙනෙන ලෙස වර්ධනය විය.

2023 වසරේ ජුනි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළහි විදේශ ආයෝජනවල කැපී පෙනෙන ශුද්ධ ලැබීමක් වාර්තා කළේය.

අයවැය සහය සඳහා ලෝක බැංකුවෙන් එ.ජ. ඩොලර් මිලියන 250ක් පමණ ලැබීම, ජුනි මස අවසන් වන විට දළ නිල සංචිත මට්ටම, 2023 වසරේ මැයි මස අවසන් වන විට පැවැති එ.ජ. ඩොලර් බිලියන 3.5ට සාපේක්ෂව, එ.ජ. ඩොලර් බිලියන 3.7ක් දක්වා ඉහළ නැංවීමට හේතු විය.

වෙළඳපොළ බලවේග විසින් විනිමය අනුපාතිකය තීරණය කිරීම පිළිබිඹු කරමින් ශ්‍රී ලංකා රුපියල 2023 වසරේ ජුනි මාසයේ දී එ.ජ. ඩොලරයට සාපේක්ෂව යම් විචලනයක් පෙන්නුම් කළේය.

ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය

ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනයන් කාලානුරූපීව ග්‍රහණය කර ගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව 2017 වසරේ ජුනි මස සිට ඉදිකිරීම් අංශය සඳහා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණයක් ආරම්භ කරන ලදී. මහ බැංකුවේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය සඳහා සහාය වෙමින් මෙම සමීක්ෂණය වසර හයක් පුරා අඛණ්ඩව සිදු කරන ලදී. දැනට මහ බැංකුව විසින් නිෂ්පාදන සහ සේවා පිළිබඳ අනෙකුත් ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක දෙකක් මාසිකව නිකුත් කරනු ලබයි. එබැවින්, 2023 වසරේ ජුනි මස සිට මහජනතාවගේ දැනගැනීම උදෙසා ඉදිකිරීම් අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණයේ ප්‍රතිඵල ද නිකුත් කිරීමට මහ බැංකුව තීරණය කරන ලදී.

2023 වසරේ ජුනි මාසය සඳහා වන ඉදිකිරීම් අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණයේ ප්‍රතිඵල පිළිබඳ වාර්තාව පහත දැක්වේ. මින් ඉදිරියට සමීක්ෂණ ප්‍රතිඵල මාධ්‍ය නිවේදනයක් හරහා මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියේ සංඛ්‍යාති අංශය යටතේ ද මාසිකව ප්‍රකාශයට පත් කරනු ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති/ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, 2023 ජූලි 11 සිට 14 දක්වා කැනඩාවේ වැන්කුවර් නගරයේ පැවති මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ වාර්ෂික සැසිය සඳහා සහභාගී වෙයි

2023 ජූලි 11 සිට 14 දක්වා කැනඩාවේ වැන්කුවර් හි පැවති, මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ 2023 වාර්ෂික සැසිය සහ තාක්ෂණික සහාය සහ පුහුණු (TA&T) සැසිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ,මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැලැක්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වශයෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමග සහභාගී විය. ලාඕසය, නේපාලය සහ බෲනායි යන රටවල් තුනෙහි අන්‍යෝන්‍ය ඇගයීම් සඳහා සහභාගී වූ ශ්‍රි ලාංකික නිලධාරීන්ගෙන් එම නියෝජිත පිරිස, සමන්විත විය. එම වාර්ෂික සැසිය සදහා ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ සාමාජික රටවල් 42 ක නියෝජිතයින් 300 කට අධික සංඛ්‍යාවක් මෙන්ම අනෙකුත් නිරීක්ෂකයින් සහ පුද්ගලික අංශයේ පාර්ශවකරුවන් එක් වූ අතර, එහිදී මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම ඇතුළු බරපතල මූල්‍ය අපරාධ හා සමුලඝාතක අවි මුල්‍යනය සම්බන්ධ තීරණාත්මක ගැටළු සාකච්ඡා කරන ලදී .

2023 ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමෙහි සම මුලසුන දරන ලද්දේ කැනඩාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සහකාර නියෝජ්‍ය මුදල් අමාත්‍ය ජුලියන් බ්‍රාසීහු (Julien Brazeau) සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ නියෝජ්‍ය කොමසාරිස් ඉයන් මැකාර්ට්නි (Ian McCartney) විසිනි.

Pages