Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2023 ජූලි

වෙළඳ හිඟය, 2022 වසරේ ජූලි මාසයට සාපේක්ෂව අපනයන ඉපැයීම් පහළ යෑමෙහි සහ ආනයන වියදම් ඉහළ යෑමෙහි ඒකාබද්ධ බලපෑම හේතුවෙන් 2023 වසරේ ජූලි මාසයේ දී පුළුල් විය. කෙසේ වෙතත්, ජනවාරි සිට ජූලි දක්වා කාලපර්ච්ඡේදය තුළ සමස්ත වෙළඳ හිඟය, 2022 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව බෙහෙවින් අඩු මට්ටමක පැවතුණි.

2023 වසරේ ජූලි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ කැපී පෙනෙන ලෙස ඉහළ ගිය අතර සංචාරක ඉපැයීම් පසුගිය වසරේ එම කාලපරිච්ඡේදයට සාපේක්ෂව අඛණ්ඩව වර්ධනය විය.

2023 වසරේ ජූලි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශ ආයෝජනවල කැපී පෙනෙන ශුද්ධ ගෙවීමක් වාර්තා කළ අතර කොළඹ කොටස් වෙළඳපොළ වෙත ද ශුද්ධ විදේශීය ලැබීම් වාර්තා විය.

දළ නිල සංචිත මට්ටම, 2023 වසරේ ජූලි මාසය අවසානය වන විට එ.ජ. ඩොලර් බිලියන 3.8ක් ලෙස වාර්තා විය.

ශ්‍රී ලංකා රුපියල 2023 වසරේ ජූලි මාසයේ දී එ.ජ. ඩොලරයට සාපේක්ෂව යම් විචලනයක් පෙන්නුම් කළේය.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (ඉදිකිරීම්) - ජූලි 2023

ඉදිකිරීම් කටයුතුවල පවතින දුර්වල ක්‍රියාකාරීත්වය තුළ 2023 ජූලි මාසය තුළදී ඉදිකිරීම් කටයුතු සඳහා වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 43.2ක අගයක් වාර්තා කරන ලදී. මෙහිදී, පවතින අභියෝගාත්මක වාතාවරණය හමුවේ බොහෝ සමාගම් සිය ව්‍යාපාරික පැවැත්ම ආරක්ෂාකරගැනීම සඳහා උත්සාහ ගනිමින් සිටින බව සමීක්ෂණය සඳහා ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කරන ලදී. කෙසේ වුවද, ක්‍රමයෙන් ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල පහත වැටීම, සීමිත මට්ටමින් වුවද ක්‍රියාත්මකවන ඉදිකිරීම් සඳහා රුකුලක් වී ඇත. තවද, තාවකාලික වශයෙන් අත්හිටුවා තිබූ රාජ්‍ය අංශයේ ඉදිකිරීම් ව්‍යපෘති කිහිපයක් ද ජූලි මාසය තුළදී සුළු වශයෙන් වුවද නැවත ආරම්භ කර ඇත.

පසුගිය මාසයට සාපේක්ෂව අඩු මට්ටමෙන් වුවද නව ඇණවුම් ජූලි මාසය තුළදී ද පහත වැටුණි. මෙහිදී, ටෙන්ඩර් අවස්ථා බොහෝදුරට විදේශ අරමුදල් සහිත ව්‍යාපෘති කිහිපයකට සිමා වී ඇති අතර, පෞද්ගලික සේවාදායකයින් ද ඉදිකිරීම් වියදම් තවදුරටත් පහළ යන තෙක් ආයෝජන පමාකරන බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කරන ලදී. එසේම, දැනට ව්‍යපෘතිවල නිරතව සිටින සමාගම් සතු අතිරික්ත ධාරිතාවය හේතුවෙන් අනෙකුත් සමාගම්වලට උපකොන්ත්‍රාත් ලබාදීම ද සිමා වී ඇත. මේ අතරතුර, සමාගම් විසින් තමාට අත්‍යවශ්‍ය සේවකයින් පමණක් රඳවා ගැනීමට කටයුතු කරන බැවින් සේවා නියුක්තිය ද ජූලි මාසය තුළදී පහත වැටුණි. තවද, බොහෝ සමාගම් ආයෝජන පමාකරන වාතාවරණය තුළ කෙටිකාලීන අවශ්‍යතා සඳහා පමණක් සීමිතව මිලදී ගැනීම් සිදු කිරීම හේතුවෙන් තොග මිලදී ගැනුම් ද ජූලි මාසය තුළදී පහත වැටුණි. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ස්ථාවර මට්ටමක පැවතුනු අතර සමහර සැපයුම්කරුවන් නැවතත් ණයට භාණ්ඩ සැපයීමට ද නැඹුරුවක් දක්වන බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කරන ලදී.

ප්‍රධාන වශයෙන් ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කිරීම, පොලි අනුපාතික සහ අමුද්‍රව්‍ය සඳහා වියදම් පහත වැටීම සහ දැනට අත්හිටුවා ඇති රජයේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා පවතින සාකච්ඡා හේතුවෙන් සමාගම්වල ඉදිරි මාස තුන පිළිබඳ ව්‍යාපාර අපේක්ෂා යහපත් මට්ටමක පැවතුණි.

දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය පිළිබඳව දැනුම්වත් කිරීම

2023 අගෝස්තු මස 28 වන අද දින, කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් නියෝජනය කරන්නන් ලෙස දක්වමින් යම් පිරිසක් විසින් දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය තුළින් සේවක අර්ථසාධක අරමුදලට සිදු වන්නේ යැයි කියනු ලබන බලපෑමට විරෝධය පාමින් පවත්වන ලද උද්ඝෝෂණය අතරතුර, ඔවුන් විසින් කොටුව පොලීසිය හරහා ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටින ලදී. එම ඉල්ලීමට එකඟ වෙමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා විසින් අද දිනම පස්වරු 2.30 ට එම පිරිස නියෝජනය කරමින් පස්දෙනෙකුට එම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැමිණෙන ලෙස කොටුව පොලීසියේ නිලධාරීන් මඟින් දැනුම් දෙන ලදී. ‍ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සාකච්ඡාව ලබාදීමෙන් පසුව එම පිරිස විසින් ‍කොටුව පොලීසියේ නිලධාරීන් හරහා ශ්‍රී ලංකා මහ බැංකුව ‍වෙත දන්වා සිටින ලද්දේ අද දින එම සාකච්ඡාව සඳහා ඔවුන්ට සහභාගි විය නොහැකි බවයි.

නීති විරෝධී යෝජනා ක්‍රම පිළිබඳ මහජන පැමිණිලි

මාර්ගගත ක්‍රම (online) හරහා ක්‍රියාත්මක වන නොයෙකුත් යෝජනාක්‍රම මගින් ඒවා නීත්‍යානුකූල යෝජනාක්‍රම බව හුවාදැක්වීම සඳහා එම යෝජනාක්‍රම සාධාරණීකරණය කරමින් පහත  දක්වා ඇති ආකාරයේ කරුණු ඉදිරිපත් කර ආයෝජකයන් නොමඟයවා මුදල් තැන්පතු කරවා ගැනීමට/ ආයෝජනය ලබා ගැනීමට කටයුතු කරන බවට දන්වමින් මහජන පැමිණිලි රාශියක්  මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබී ඇත. 

  • ශ්‍රී  ලංකා මහ බැංකුවේ රෙගුලාසිවලට අනුකූලව ආයෝජකයින්ගේ අරමුදල් යෝජනා ක්‍රමය ආරක්ෂා කරන බව.
  • යෝජනා ක්‍රමය මගින් අදාළ බදු මුදල් රජයට ගෙවන බව.
  • යෝජනා ක්‍රමයට  සහභාගිවන්නන්ගේ මුදල් නැවත ලබා ගැනීම සඳහා ඔවුන්ගේ පුද්ගලික මුදලින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ආදායම් බද්දක් ගෙවිය යුතු අතර එසේ නොකලහොත්, ඔවුන්ගේ අරමුදල් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත් හිටුවන බව.
  • මෙම යෝජනා ක්‍රම ශ්‍රී ලංකා මහ බැංකුව සමග සාකච්ඡා කරන බව.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉහත ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන අතර මෙම ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මහජනතාවට දැනුම් දෙනු ලැබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2023 අගෝස්තු මස 23 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 11.00 සහ සියයට 12.00 ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කළේය. 2023 ජූනි මාසයේ සිට ක්‍රියාත්මක වූ මුදල් තත්ත්වයන් සැලකිය යුතු ලෙස ලිහිල් කිරීම සහ දේශීය මෙන්ම ගෝලීය ආර්ථිකයේ වත්මන් සහ අපේක්ෂිත ප්‍රවණතා පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. මෙතෙක් ක්‍රියාත්මක කරන ලද මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර වශයෙන් වෙළඳපොළ පොලී අනුපාතික අඩු වීම සහ වෙළඳපොළ පොලී අනුපාතික තවදුරටත් වේගයෙන් අඩු වීම සඳහා අවකාශය ලබා දීමේ අවශ්‍යතාව මුදල් මණ්ඩලය විසින් සලකා බලන ලදී. කෙසේ වෙතත්, වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූල නොවන ලෙස ඇතැම් ණය උපකරණ සඳහා අදාළ වෙළඳපොළ පොලී අනුපාතික අධික ලෙස ඉහළ මට්ටමක පවතින බව මුදල් මණ්ඩලය නිරීක්ෂණය කළේය. තවද, මෑතකාලීන මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ගවලට අනුකූලව සමස්ත වෙළඳපොළ ණය පොලී අනුපාතිකවල වේගවත් අඩුවීමක් සිදු වනු ඇතැයි මුදල් මණ්ඩලය අපේක්ෂා කරයි.

“ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2023” ප්‍රකාශනය නිකුත් කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුවේ, වාර්ෂික ප්‍රකාශනයක් වන “ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2023” මහජනතාවගේ පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් පළ කරන මෙම පොතෙහි ක්ෂේත්‍ර අටක් යටතේ වර්ගීකරණය කරන ලද සංඛ්‍යාන වගු ඇතුළත් වේ. එනම්, ‘ජාතික නිෂ්පාදිතය’, ‘වියදම සහ ආදායම', ‘ආර්ථික සහ සමාජ යටිතල පහසුකම්', 'මිල, වැටුප් සහ සේවා නියුක්තිය', 'විදේශ වෙළඳ හා මූල්‍ය', 'රාජ්‍ය මූල්‍ය කටයුතු', 'මුදල්, පොලී අනුපාතික සහ ප්‍රාග්ධන වෙළඳපොළ', ‘මූල්‍ය අංශයේ ක්‍රියාකාරිත්වය' සහ අනෙකුත් රටවල සංඛ්‍යාන වශයෙනි. මෙම ප්‍රකාශනය, සමාජ හා ආර්ථික සංඛ්‍යාන පිළිබඳව උනන්දු වන ඕනෑම අයෙකුට ප්‍රයෝජනවත් වනු ඇත.

මෙම ප්‍රකාශනයේ සිංහල පිටපත ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියෙන් (http://www.cbsl.gov.lk) ලබා ගත හැක.

 

 

Pages