Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (ඉදිකිරීම්) - 2024 අප්‍රේල්

පසුගිය වසරවල අලුත් අවුරුදු සමයේ පැවති රටාවට අනුගතව බොහෝ අංශවල ක්‍රියාකාරකම් මන්දගාමීවීම තුළ, ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ද අප්‍රේල් මාසයේ දී දර්ශකාංක 31.9ක් දක්වා පහත වැටීමක් වාර්තා කරන ලදී. මෙමගින් ඉදිකිරීම් ක්‍රියාකාරකම් පසුගිය මාසයට සාපේක්ෂව පහත වැටීමක් පෙන්නුම් කරයි. සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කළ පරිදි, දීර්ඝ අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් බොහෝ ඉදිකිරීම් වැඩබිම් මෙම මාසය තුළ තාවකාලිකව වසා දැමීම මෙම පසුබැසීමට හේතු වී ඇත. 

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2024 අප්‍රේල්

ආනයන ඉහළ යෑමට වඩා වැඩි අගයකින් අපනයන ඉහළ යෑම හේතුවෙන් (වාර්ෂික ලක්ෂ්‍යමය මත) 2024 වසරේ අප්‍රේල් මාසයේ දී වෙළඳ හිඟය අඩු විය. කෙසේ වෙතත්, 2024 වසරේ  ජනවාරි-අප්‍රේල් කාලපරිච්ඡේදය සඳහා සමස්ත වෙළඳ හිඟය පුළුල් විය.

සෘතුමය රටාවට අනුකූලව 2024 වසරේ අප්‍රේල් මාසයේ දී සංචාරක පැමිණීම් මන්දගාමී වුවද, සංචාරක අංශයේ වර්ධනය අඛණ්ඩව පවතියි.

සේවා අංශ වෙත වූ අනෙකුත් ලැබීම්  2024 වසරේ පළමු මාස හතර තුළ ශක්තිමත්ව පැවතුණි.

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ  විදේශීය ජංගම ගිණුමට සහ විදේශ විනිමය වෙළඳපොළෙහි ද්‍රවශීලතාවයට සැලකිය යුතු ලෙස අඛණ්ඩව දායක විය.

2024 වසරේ අප්‍රේල් මාසයේදී ද රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙන් විදේශ ආයෝජන ගෙවීම් අඛණ්ඩව සිදු විය.

දළ නිල සංචිත 2023 වසර අවසානයට සාපේක්ෂව එ.ජ. ඩො. බිලියන 1කට වඩා වැඩිවීමක් වාර්තා කරමින් 2024 වසරේ අප්‍රේල් මාසය අවසාන වන විට එ.ජ. ඩොලර් බිලියන 5.5ක් විය.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 මැයි මස 27 වැනි දින පැවති රැස්වීමේ දී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.50 සහ සියයට 9.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. ආර්ථිකයට එහි විභව නිමැවුම් මට්ටම කරා ළඟා වීමට සහාය වෙමින්, මැදි කාලීනව උද්ධමනය ඉලක්කගත සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යෑම සඳහා වත්මන් සහ අපේක්ෂිත සාර්ව ආර්ථික ප්‍රවණතා මෙන්ම දේශීය හා ගෝලීයව ඇතිවිය හැකි අවදානම් පිළිබඳව ද මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. මැදි කාලීන උද්ධමන ඉදිරි දැක්ම වර්තමානයේ පවතින ප්‍රතිපත්ති පොලී අනුපාතික මට්ටම හා අනුකූලව පැවතීමත් උද්ධමන අපේක්ෂා මනාව පාලනය වී පවතින තත්ත්වයක් තුළ, ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ අනෙකුත් පදනම් පොලී අනුපාතිකවලට අනුකූලව, දේශීය මුදල් තත්ත්ව ලිහිල් වීම සහ දේශීය ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් වීම සඳහා අත්‍යවශ්‍ය වන වෙළඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් අඩු කිරීමේ අවශ්‍යතාව පිළිබඳ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් අවධානය යොමු කරන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුව, මූල්‍ය සාක්ෂරතා මාර්ගෝපදේශය (2024-2028) එළි දක්වයි

ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ මූල්‍ය හැකියාවන් ඉහළ නැංවීම උදෙසා වැදගත් පියවරක් සනිටුහන් කරමින්, 2024 මැයි 21, වූ අද දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතා මාර්ගෝපදේශය එළි දක්වන ලදී.

මුල්‍ය අන්තර්ගතභාවය සඳහා වූ ජාතික උපාය මාර්ගය යටතේ ක්‍රියාත්මක වන මෙම මාර්ගෝපදේශය මඟින් ශ්‍රී ලාංකිකයින්ගේ මුල්‍ය හැසිරීම් වැඩිදියුණු කිරීම සහ මූල්‍යමය වශයෙන් ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම යන පොදු අරමුණු කරා මූල්‍ය සාක්ෂරතා මුලපිරීම්වල නියැලී සිටින සියලුම පාර්ශවකරුවන් පෙළගස්වමින්, සාක්ෂි මත පදනම් වූ විධිමත් මග පෙන්වීමක් සපයනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති මූල්‍ය අන්තර්ගතභාවය සඳහා වූ ජාතික උපාය මාර්ගික සැලැස්මේ සම්බන්ධිීකරණ අංශයේ මෙහෙයවීම යටතේ විවිධ පාර්ශවකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් යුතුව සහයෝගී ප්‍රයත්නයක් ලෙස ගොඩනංවන ලද මෙ‌ම මාර්ගෝපදේශය මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම, පාරිභෝගික ආරක්ෂණය වර්ධනය කිරීම සහ මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් සකස් කර ඇත.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (නිෂ්පාදන සහ සේවා) - 2024 අප්‍රේල්

2024 අප්‍රේල් මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පසුබෑමක් ද සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් ද පෙන්නුම් කරයි

නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 අප්‍රේල් මාසයේ දී දර්ශකාංක 42.0ක් වාර්තා කරමින්, පසුගිය වසරවල අප්‍රේල් මාසය තුළ පැවති රටාවට අනුගතව, නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පසුබෑමක් පිළිබිඹු කරයි. ඒ අනුව, මාසය තුළදී නව ඇණවුම්, නිෂ්පාදන, සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම් උප දර්ශක පහළ වැටීමෙහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත දර්ශයක පහත වැටුණි.

සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, එනම් ව්‍යාපාර ක්‍රියාකාරකම් දර්ශකය, 2024 අප්‍රේල් මාසයේ දී දර්ශකාංක 56.7ක් වාර්තා කරමින් සේවා ක්‍රියාකාරකම්වල මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කළේය.

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත (කල්බදු මූල්‍යකරණ පනත) සංශෝධනය සඳහා මහජන අදහස් විමසීම

කල්බදු මූල්‍යකරණ පාරිභෝගිකයන් සඳහා පවතින ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා සහ කල්බදු මූල්‍යකරණ කර්මාන්තයේ වර්ධනයන් සලකා බලමින් කල්බදු මූල්‍යකරණ පනත සංශෝධනය සඳහා ශ්‍රි ලංකා මහ බැංකුව විසින් පියවර ගනිමින් සිටී.

කල්බදු මූල්‍යකරණ පනත සංශෝධනයේදී උනන්දුවක් දක්වන පාර්ශවයන්ගේ පුළුල් සහභාගීත්වය තහවුරු කිරීම සඳහා මහජනතාවගේ නීරීක්ෂණ / අදහස් / යෝජනා ලබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදහස් කර ඇත. යෝජිත සංශෝධන සඳහා වන කෙටුම්පතට ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියේ පනත සබැඳිය හරහා ප්‍රවේශ විය හැක.

Pages