Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

පාලක මණ්ඩලය විසින් නව සහකාර අධිපතිවරු සය දෙනෙක් පත් කෙරෙති

ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් 2024 ජනවාරි 19 වන දින පැවති රැස්වීමේ දී ආචාර්ය සී. අමරසේකර, ඩබ්ලිව්. ඒ. දිල්රුක්ෂිනී මහත්මිය, ආචාර්ය පී. කේ. ජී. හරිස්චන්ද්‍ර, ඩී.එස්. ඩබ්ලිව්. සමරතුංග මහත්මිය, ඊ. එච්. මොහොට්ටි මහත්මිය සහ ආර්. ඩී. ටී. ගුණසේකර මහත්මිය යන අය 2024 ජනවාරි 22 වන දින සිට සහකාර අධිපති ධුරයට උසස් කරන ලදී.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2023 දෙසැම්බර්

2023 වසරේ වෙළඳ ගිණුමේ හිඟය 2010 වසරින් පසු වාර්තා වූ අවම වෙළඳ හිඟය වූ අතර, ඒ සඳහා අපනයන ආදායම පහළ යෑමට වඩා වැඩි අගයකින් ආනයන වියදම පහළ යෑම දායක විය.

2022 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව 2023 වසරේ දෙසැම්බර් මාසයේ දී වෙළඳ හිඟය පුළුල් විය. කෙසේ වෙතත්, ආනයන සීමා කිරීම් මෑත කාලීනව ලිහිල් කිරීම හමුවේ වුවද, ආනයන අඛණ්ඩව පහළ මට්ටමක පැවතුනි.

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2023 වසරේ දී එ.ජ. ඩොලර් බිලියන 6ක පමණ ශක්තිමත් මට්ටමක් වාර්තා කළ අතර 2021 වසරේ අප්‍රේල් මාසයෙන් පසුව වාර්තා වූ ඉහළම මාසික අගය 2023 වසරේ දෙසැම්බර් මාසයේ දී වාර්තා විය.

සංචාරක පැමිණීම්වල කැපී පෙනෙන වර්ධනය හේතුවෙන් 2023 වසර සඳහා වූ සංචාරක ඉපැයීම් එ.ජ. ඩොලර් බිලියන 2ක් ඉක්මවා ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශ ආයෝජන 2023 වසරේ දී ශුද්ධ ලැබීමක් වාර්තා කළේය.

කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2024 ජනවාරි මාසයේ දී තවදුරටත් ඉහළ ගියේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 දෙසැම්බර් මාසයේ වාර්තා වූ සියයට 4.0හි සිට 2024 ජනවාරි මාසයේ දී සියයට 6.4 දක්වා ඉහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම ඉහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ පැවති සියයට 0.3හි සිට 2024 ජනවාරි මාසයේ දී සියයට 3.3 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර නොවන උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ පැවති සියයට 5.8හි සිට 2024 ජනවාරි මාසයේ දී සියයට 7.9 දක්වා ඉහළ ගියේය. ආහාර කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට 1.21ක සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට 1.66ක මිල ඉහළ යෑම් හේතුවෙන් 2024 ජනවාරි මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික වෙනස සියයට 2.87ක් ලෙස වාර්තා විය.  තවද, ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2023 දෙසැම්බර් මාසයේ පැවති සියයට 0.6හි සිට 2024 ජනවාරි මාසයේ දී සියයට 2.2 දක්වා ඉහළ ගියේය. 

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (ඉදිකිරීම්) - දෙසැම්බර් 2023

2023 දෙසැම්බර් මාසයේ දී, ඉදිකිරීම් අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 48.6ක අගයක් වාර්තා කරන ලදී. ඒ අනුව, පසුගිය මාසයට සාපේක්ෂව ඉදිකිරීම් කටයුතු අඩු වේගයකින් පහත වැටීමක් පෙන්නුම් කෙරේ. මෙසේ ඉදිකිරීම් ක්‍රියාකාරකම් පහත වැටීම සඳහා ව්‍යාපෘති තවදුරටත් අඩු මට්ටමක පැවතීම හේතු වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කරන ලදී.

පෙර මාසයට ආසන්න වේගයකින් දෙසැම්බර් මාසයේදී නව ඇණවුම් පහත වැටීමක් වාර්තා විය. මේ වන විට සිය සමාගම් විදේශ අරමුදල් මගින් සිදු කරනු ලබන ඉදිකිරීම් ව්‍යාපෘති මත දැඩි සේ රඳා පවතින බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහොමයක් දෙනා සඳහන් කළහ. එමෙන්ම, ව්‍යාපෘති අවසන් වීමට සමගාමීව සේවා නියුක්තිය ද පහත වැටුණි. දැනට ක්‍රියාත්මක ඉදිකිරීම් කටයුතු මෙන්ම ඉදිරි ව්‍යාපෘති ද අඩු මට්ටමක පවතින බැවින් තොග මිලදී ගැනීම් ප්‍රමාණය ද අඩු විය. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුළදී ද ඉහළ අගයක පැවතුණි.

ඉදිරි ව්‍යාපෘති අඩු මට්ටමක පැවතීම සහ සිදුකරන ලද බදු සංශෝධන සමග මිල මට්ටම් ඉහල යෑම හේතුවෙන් ඉදිරි මාස තුන සඳහා ඉදිකිරීම් කටයුතු සඳහා වන අපේක්ෂා අඩු මට්ටමක පවතී.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 ජනවාරි මස 22 වැනි දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 9.00 සහ සියයට 10.00 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. ආර්ථිකයට එහි විභව නිමැවුම් මට්ටම කරා ළඟා වීමට සහාය වෙමින්, මැදි කාලීනව උද්ධමනය ඉලක්කගත සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යෑම සඳහා දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. නුදුරු කාලීනව උද්ධමනය ඉහළ යෑම සඳහා පීඩන ඇති කළ හැකි බදුකරණයේ සහ සැපයුම් අංශයේ සාධකවල මෑත කාලීන ප්‍රවණතාවන්හි බලපෑම පිළිබඳව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධානය යොමු කළේය. කෙසේ වෙතත්, එම මෑත කාලීන ප්‍රවණතාවල බලපෑම මගින් මැදි කාලීන උද්ධමන ඉදිරි දැක්මෙහි සැලකිය යුතු වෙනස්කමක් සිදු නොවනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අදහස විය. තවද, පෙර ක්‍රියාත්මක කරනු ලැබූ මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග මෙන්ම රජයේ සුරැකුම්පත් හා සම්බන්ධ අවදානම් අධිමිල පහළ යෑම හේතුවෙන් වෙළඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් අඩු වීම සඳහා ඇති අවකාශය පිළිබඳ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධානය යොමු කළේය. වෙළඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් අඩු කිරීම මගින් අපේක්ෂිත ප්‍රතිලාභ මූල්‍ය ආයතන විසින් ව්‍යාපාර හා පුද්ගලයන් වෙත ප්‍රමාණවත් ලෙස හා කඩිනමින් ලබා දිය යුතු බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධාරණය කළේය.  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරය නිමා කරයි

මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා. මූ. අරමුදලේ) විස්තීර්ණ ණය පහසුකම යටතේ වන ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා පීටර් බෲවර් මහතාගේ නායකත්වයෙන් යුත් ජා. මූ. අරමුදලේ දූත කණ්ඩායමක් 2024 වසරේ ජනවාරි 11 සිට 19 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුනි. දූත මෙහෙය අවසානයේදී ජා. මූ. අරමුදල විසින් 2024 ජනවාරි 19වන දින පහත දැක්වෙන මාධ්‍ය නිවේදනය නිකුත් කරන ලද අතර, එයට පහත සබැඳියෙන් ප්‍රවේශ විය හැකිය.

Pages