Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව "ශ්‍රී ලංකා සමාජ-ආර්ථික දත්ත - 2025" ප්‍රකාශනය නිකුත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ, "ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2025" වාර්ෂික ප්‍රකාශනය මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. මෙය, එම ප්‍රකාශන මාලාවේ 48 වන වෙළුමයි.

පහසුවෙන් පරිශීලනය කළ හැකි මෙම ප්‍රකාශනයෙහි ශ්‍රී ලංකාවේ මූලික තොරතුරු, මූලික ආර්ථික දර්ශක, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ශ්‍රී ලංකාවේ තත්ත්වය, සමාජ ආර්ථික තත්ත්වයන්, මානව සම්පත් තොරතුරු, ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ආර්ථික හා සමාජ යටිතල පහසුකම්, මිල සහ වැටුප්, විදේශ වෙළඳාම සහ සංචාරක කර්මාන්තය, විදේශ මූල්‍ය, රාජ්‍ය මූල්‍ය කටයුතු, මූල්‍ය හා බැංකු යන ශීර්ෂ 14 ක් යටතේ දත්ත ඇතුළත් වේ. මෙම ප්‍රකාශනය පුළුල් පරාසයක සමාජ-ආර්ථික දත්ත සංක්ෂිප්ත හා සාරාංශ ආකාරයෙන්  ඉදිරිපත් කරන බැවින්, එය ප්‍රතිපත්ති සම්පාදකයින්, පර්යේෂකයින්, ශාස්ත්‍රඥයින්, වෘත්තිකයන්, සිසුන් සහ මහජනතාව සඳහා ප්‍රයෝජනවත් ප්‍රකාශනයක් වනු ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගනියි

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳ ව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, උද්ධමනය 5% ඉලක්කය කරා මෙහෙයවීමට සහාය වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විශ්වාස කරයි.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2025 අගෝස්තු

2025 අගෝස්තු මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 අගෝස්තු මාසයේ දී දර්ශකාංක 55.2ක අගයක් වාර්තා කළේය. මෙමගින් පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුවද නිෂ්පාදන කටයුතුවල වර්ධනයක් පිළිබිඹු කරනු ලැබීය. මෙහිදී,  සියලුම උප දර්ශක කඩඉම් මට්ටමට වඩා ඉහළ අගයක පැවතුනි.  

ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් නිකුත් කරන ලද රුපියල් 2000 සංසරණ සමරු මුදල් පිළිබඳ මහජන දැනුම්වත් කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් 2025.08.29 දින රුපියල් 2000 ක සංසරණය සඳහා වන සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කරන ලදී. 

නව මුදල් නෝට්ටුව පහසුවෙන් මුදල් සංසරණයට අනුගත කිරීම සඳහා, බලපත්‍රලාභී වාණිජ බැංකු ඔවුන්ගේ මුදල් හැසිරවීමේ යන්ත්‍ර ක්‍රමාංකනය කිරීමේ (Calibration) ක්‍රියාවලියක යෙදී සිටී. මෙම ක්‍රියාවලියේ ප්‍රගතියට අනුකූලව, නව මුදල් නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් මුදල් සංසරණයට නිකුත් කරනු ලැබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ නිකුත් කරයි

2025 වසරේ දෙවන භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ   ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත.

මෙම ප්‍රකාශනය මගින් වෙළඳපොළ සහභාගීවන්නන් තුළ මූල්‍ය පද්ධතිය කෙරෙහි පවතින විශ්වාසය, මූල්‍ය පද්ධතියට බලපෑම් ඇති කළ හැකි අවදානම් මූලාශ්‍ර සහ එවැනි අවදානමක් හට ගැනීම පිළිබඳ ඔවුන්ගේ අපේක්ෂාවන් හි නිරීක්ෂණ සංක්ෂිප්තයක් ඉදිරිපත් කෙරේ. මෙහි ඉදිරිපත් කර ඇති ප්‍රතිඵල, සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගේ පිළිතුරු මත පමණක් පදනම් වී ඇති අතර, එමගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහස් පිළිබිඹු නොවේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වර්ෂයේ මූල්‍ය සාක්ෂරතා මාසය සැප්තැම්බර් 10 වන දින සිට ක්‍රියාත්මක කරනු ලබයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වර්ෂයේ සැප්තැම්බර් මස 10 වන දින “මූල්‍ය සාක්ෂරතා මාසය” ආරම්භ කරනු ලබන අතර එය මූල්‍ය අන්තර්ගතභාවය ඇති කිරීම කරා යන ප්‍රගතිශීලි ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙම මුලපිරීම මූල්‍ය සාක්ෂරතා පෙරදැක්ම යටතේ ක්‍රියාත්මක වන අතර එය “මූල්‍ය සාක්ෂරතාවයෙන් හෙබි ශ්‍රී ලංකාවක්” නිර්මාණය කිරීමේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් දැක්මට අනුකූල වේ. 

Pages