විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2026 අගෝස්තු

අඛණ්ඩව මාස හතරක් මුළුල්ලේ හිඟයන් වාර්තා කිරීමෙන් අනතුරුව, විදේශීය ජංගම ගිණුම 2026 වසරේ අගෝස්තු මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 133ක අතිරික්තයක් වාර්තා කළේය. ආනයන වියදම් අඩුවීම හේතුවෙන් මෑත මාසවලට සාපේක්ෂව වෙළඳ හිඟය අඩුවීම මෙම අතිරික්තයට ප්‍රධාන වශයෙන් සහාය විය. මැද පෙරදිග ගැටුම් උත්සන්න වීම හේතුවෙන් විදේශීය අංශයට බලපෑ පීඩන පිළිබිඹු කරමින්, 2026 වසරේ ජනවාරි-අගෝස්තු කාලපරිච්ඡේදය තුළ දී ජංගම ගිණුමේ සමුච්චිත හිඟය එ.ජ. ඩොලර් මිලියන 291ක් විය.

ආනයන වියදම් ඉහළ යෑම සහ අපනයන ආදායම් පහළ යෑම හේතුවෙන්, 2026 වසරේ අගෝස්තු මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් විය. මේ අතර, 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ දී පැවති එ.ජ. ඩොලර් බිලියන 4.3ට සාපේක්ෂව, 2026 වසරේ ජනවාරි-අගෝස්තු කාලපරිච්ඡේදය තුළ සමස්ත වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය එ.ජ. ඩොලර් බිලියන 7.2ක් දක්වා පුළුල් විය.

2026 වසරේ අගෝස්තු මාසයේ දී මාසික ඉන්ධන ආනයන වියදම අඛණ්ඩව සිව්වන මාසයටත් පහත වැටුණි. 2026 වසරේ ජනවාරි-අගෝස්තු කාලපරිච්ඡේදය තුළ සමස්ත ඉන්ධන ආනයන වියදම ආසන්න වශයෙන් එ. ජ. ඩොලර් බිලියන 4.0ක් වූ අතර, එය 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 61.6%ක (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) වැඩිවීමකි. 

පුද්ගලික සහ වාණිජ කටයුතු සඳහා යොදාගන්නා වාහන යන දෙවර්ගය ම ඇතුළුව මෝටර් රථ ආනයනය සඳහා වූ වියදම 2026 වසරේ අගෝස්තු මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 189ක් වූ අතර, එය 2025 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව 24.2%ක අඩු වීමක් පෙන්නුම් කළේය. මේ අතර, 2026 වසරේ ජනවාරි-අගෝස්තු කාලපරිච්ඡේදය තුළ මෝටර් රථ ආනයනය සඳහා වූ සමස්ත වියදම එ.ජ. ඩොලර් මිලියන 1,684ක් විය.

2026 වසරේ අගෝස්තු මාසයේ දී, ආනයන මිල ගණන්වල වැඩිවීම අපනයන මිල ගණන්වල වැඩිවීමට වඩා වේගවත් වූ බැවින් වෙළඳ මිල අනුපාතය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගියේය. එමෙන්ම, 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 2026 වසරේ ජනවාරි-අගෝස්තු කාලපරිච්ඡේදය තුළ වෙළඳ මිල අනුපාතය පහළ ගියේය.

2026 වසරේ අගෝස්තු මාසයේ දී සේවා ගිණුම එ.ජ. ඩොලර් මිලියන 220ක අතිරික්තයක් වාර්තා කළ අතර, එය 2025 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 24.4ක අඩුවීමකි. මාසික සේවා ගිණුම් අතිරික්තයේ මෙම අඛණ්ඩ අඩුවීමත් සමඟ, 2026 වසරේ ජනවාරි-අගෝස්තු කාලපරිච්ඡේදය තුළ දී සමස්ත සේවා ගිණුම් අතිරික්තය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව එ.ජ. ඩොලර් බිලියන 2.1ක් දක්වා සියයට 21.4කින් අඩු විය.

2026 වසරේ අගෝස්තු මාසයේ දී සංචාරක පැමිණීම් පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව 3.3%කින් පහළ ගියේය. 2026 වසරේ ජනවාරි-අගෝස්තු කාලපරිච්ඡේදය තුළ දී වාර්තා වූ සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 2.0කින් අඩු විය. මේ අතර, 2026 වසරේ අගෝස්තු මාසයේ දී සංචාරක ඉපැයීම් එ.ජ. ඩොලර් මිලියන 264ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 2.1කින් වර්ධනය විය. 2025 වසරේ ජනවාරි-අගෝස්තු කාලපරිච්ඡේදයට සාපේක්ෂව, 2026 වසරේ ජනවාරි-අගෝස්තු කාලපරිච්ඡේදය තුළ දී සමුච්චිත සංචාරක ඉපැයීම් එ.ජ. ඩොලර් බිලියන 2.1ක් දක්වා සියයට 10.0කින් අඩු විය. 

2026 වසරේ අගෝස්තු මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ  එ.ජ. ඩොලර් මිලියන 749ක් දක්වා පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 10.0කින් ඉහළ ගියේය. ඒ අනුව, 2026 වසරේ ජනවාරි-අගෝස්තු කාලපරිච්ඡේදය තුළ දී සමස්ත ප්‍රේෂණ එ.ජ. ඩොලර් බිලියන 6.1ක් දක්වා පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 19.8කින් ඉහළ ගියේය. 

2026 වසරේ අගෝස්තු මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන එ.ජ. ඩොලර් මිලියන 70.2ක ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර, ප්‍රාථමික සහ ද්විතීයික වෙළඳපොළ ගනුදෙනු ඇතුළත් කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන එ.ජ. ඩොලර් මිලියන 58.1ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.

මහ බැංකුව විසින් සිදු කළ විදේශ විනිමය මිලදී ගැනීම් හේතුවෙන්, 2026 වසරේ අගෝස්තු මස අවසානය වන විට චීන මහජන බැංකුව සමඟ වන විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළුව දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 6.9ක් දක්වා ඉහළ ගියේය.

2026 වසරේ සැප්තැම්බර් මස අවසානය දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 6.3කින් අවප්‍රමාණය විය..

PDF

Published Date: 

Wednesday, September 30, 2026