ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2016 සැප්තැම්බර් මාසයේ දී වාර්තා කළ සියයට 4.7 සිට 2016 ඹක්තෝබර් මාසයේ දී සියයට 5.0 දක්වා ඉහළ ගියේ ය. 2016 ඔක්තෝබර් මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 සැප්තැම්බර් මස වාර්තා වූ සියයට 3.8 සිට 2016 ඔක්තෝබර් මස දී සියයට 4.0 දක්වා ඉහළ ගියේ ය.















2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය 2016 ඔක්තෝබර් 19 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන සහ නඩු පැවරීම් සඳහා අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම මෙහි මූලික පරමාර්ථය වී ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කළ්‍යාණි දහනායක සහ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්යක්ෂ ආචාර්ය එච් අමරතුංග විසින් මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තබන ලදි. 