නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 නොවැම්බර් මාසයේ දී 58.4ක දර්ශක අගයක් වාර්තා කළේ ය. මෙය 2016 ඔක්තෝබර් මාසයට සාපේක්ෂ ව දර්ශක අගයන් 1.9කින් ඉහළ යෑමකි. මේ සඳහා, සේවා නියුක්තිය සහ නිෂ්පාදන උප දර්ශකයන්ගේ ඉහළ වර්ධනය බෙහෙවින් දායක විය. තව ද, නව ඇණවුම් උප දර්ශකය ද පසුගිය මාසයට සාපේක්ෂ ව ඉහළ ගියේ ය. මේ අතර, එළඹෙන උත්සව සමය සඳහා රැස් කර ගත් තොග භාවිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගැනුම් තොග උප දර්ශකය නොවැම්බර් මාසයේ දී පහත වැටුණු අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය ඉහළ ගියේ ය. කෙ සේ වුව ද, සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කළේ ය. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි.















ශ්‍රී ලංකා මහ බැංකුවේ නව වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2016 වසරේ දෙසැම්බර් මස 2 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්තුණ ශාලාවේ දී පැවැත් වී ය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව කාලීන තේමා ඔස්සේ පර්යේෂණ කිරීම දිරිගැන්වීම අරමුණු කර ගත්ත ද මහ බැංකු, මුදල් අධිකාරීන්, විශ්වවිද්‍යාල සහ අනෙකුත් පර්යේෂණ ආයතනවල පර්යේෂකයන් හට මහ බැංකු කටයුතු සහ සාර්ව ආර්ථික කළමනාකරණය පිළිබඳ මෑතකාලීන සෛද්ධාන්තික සහ ප්‍රායෝගික පර්යේෂණ ඉදිරිපත් කිරීම සඳහා ද සංසදයක් සකස් කරනු ලබයි. ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2008 වසරේ ආරම්භක සමුළුවේ සිට ලොව නන් දෙසින් විද්‍යාර්ථීන් ආකර්ෂණය කරනු ලබන සමුළුවක් වී ඇති අතර කීර්තිමත් මහ බැංකුකරුවන්, විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් එහි ප්‍රධාන දේශන පවත්වා ඇත. 