2016 ජූනි මස දී ශ්‍රී ලංකාව ලබා ගත් තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමට අදාළ දෙවන සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සාර්ථක ව සම්පූර්ණ කරන ලද අතර විශේෂ ගැනුම් හිමිකම් මිලියන 119.894ක (දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 167.2ක) වටිනාකමින් යුතු තුන් වැනි වාරිකය 2017 ජූලි 19 වැනි දින මුදා හැරීමට නියමිත ය.
විස්තීර්ණ ණය පහසුකමෙහි ප්‍රධාන අරමුණ වනුයේ ගෙවුම් තුලනය ශක්තිමත් කිරීම සහ රජයේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා සහාය වීමයි. දෙවන සමාලෝචනය පිළිබඳ විධායක කමිටු සාකච්ඡාවෙන් අනතුරු ව දැඩි කාලගුණික තත්ත්වයන් හා ගෝලීය වෙළෙඳපොළ අස්ථාවරත්වයන් මධ්‍යයේ වුව ද ශ්‍රී ලංකාවේ පවතින ස්ථාවර සාර්ව ආර්ථික හා මූල්‍ය තත්ත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක් විය. විශේෂයෙන් ම, නව දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැනි රජය විසින් ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාමාර්ග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක් වී ඇත. මාර්තු මාසයේ දී සිදු කරන ලද මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක් වූ අතර මූල්‍ය ස්ථායිතා දර්ශකයන්හි ස්ථාවරතාව සහ අඛණ්ඩ ව ජාත්‍යන්තර සංචිත රැස් කර ගැනීමටත් විදේශ විනිමය අනුපාතිකයේ ඉහළ නම්‍යශීලී බවක් පවත්වා ගැනීමටත් බලධාරීන් විසින් දරනු ලබන ප්රයත්නය ඇගයීමට ලක් කර ඇත. විස්තීර්ණ ණය පහසුකම යටතේ වන ප්‍රමාණාත්මක කාර්යසාධන මිනුම් සම්පූර්ණ කර ගැනීම සඳහා බලධාරීන් විසින් ගනු ලබන වෑයම ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක් විය.
ශ්‍රී ලංකාව විසින් විස්තීර්ණ අරමුදලේ තෙවන වාරිකය ලබා ගැනීමත් සමඟ ඒ යටතේ සමස්තයක් ලෙස මේ දක්වා එක්සත් ජනපද ඩොලර් මිලියන 501.5ක මුදලක් ලබා ගෙන ඇත. විස්තීර්ණ ණය පහසුකම අඛණ්ඩ ව ලැබීම මගින් බාහිර කම්පනයන්ට ඔරොත්තු දීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ශක්තිමත් කර ගැනීමටත් සාර්ව ආර්ථික ස්ථායිතාව වර්ධනය කර ගැනීමටත් හැකි වන අතර එ මගින් මැදි කාලීන ආර්ථික වර්ධනය අත් කර ගැනීමට සහ වෙළෙඳපොළ විශ්වාසය ඉහළ නංවා ගැනීමට හැකි වනු ඇත.