2016 ඔක්තෝබර් මස 10 වැනි දින මහජනතාව වෙත නිවේදනය කළ පරිදි මුදල් මණ්ඩලය විසින් මූල්‍ය පද්ධතිය කෙරෙහි ඇති මහජන විශ්වාසය ආරක්ෂා කිරීම පිණිස අදාළ නීතිමය ප්‍රතිපාදනවලට අනුකූල ව බැංකු නො වන මූල්‍ය ආයතන ගණනාවක් නිරාකරණය කිරීම සම්බන්ධ ගැටළු 2016 ඔක්තෝබර් මස 14 වැනි දින පැවැති මුදල් මණ්ඩල රැස්වීමේ දී සලකා බලන ලදි. ඒ අනුව, මුදල් සමාගම් තුනක තැන්පත්කරුවන්ගේ තැන්පතු සහ එන්ට්‍රස්ට් සෙකියුරිටීස් පීඑල්සී සමාගමේ රාජ්‍ය සුරැකුම්පත් හා සම්බන්ධ නීත්‍යනුකූල ආයෝජකයන්ගේ මුදල් ආපසු ගෙවීම සඳහා නිිරාකරන ක්‍රමවේදයක් මුදල් මණ්ඩලය අනුමත කළේ ය.















2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය 2016 සැප්තැම්බර් 27 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ දී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන සහ නඩු පැවරීම් සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීම මෙහි මූලික පරමාර්ථය වී ඇත. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජෙනරාල් එම් එන් රණසිංහ සහ ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ එච් අමරතුංග විසින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදි.