ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකමේ තෙවන සමාලෝචනය පිළිබඳ ව නිලධාරී මට්ටමේ එකඟතාවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එළඹෙයි

මෙම ප්‍රකාශනයේ ඇති අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ගේ මතය වන අතර එ මගින් ‍‍‍ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ මතය පිළිබිඹු කිරීම අත්‍යවශ්‍ය නො වේ. මේ දක්වා නිරීක්ෂණය කොට ඇති කරුණු පදනම් කර ගෙන කළමනාකාරිත්වයේ අනුමැතියට යටත් ව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් විසින් වාර්තාවක් පිළියෙළ කරනු ලබයි. එම වාර්තාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡා කිරීමටත් තීරණ ගැනීම සඳහාත් ඉදිරිපත් කෙරෙයි.

  • නව දේශීය ආදායම් පනතෙහි දායකත්වය සහිත ව 2018 රජයේ අයවැය මගින් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව අඛණ්ඩ ව පවත්වා ගත යුතු ය. 
  • උද්ධමනය සහ ණය වර්ධනය මත වන පීඩනය කෙරෙහි මුදල් ප්‍රතිපත්තියේ අවධානය තවදුරටත් යොමු විය යුතු ය.
  • අවදානම් කළමනාකරණය කර ගැනීම සඳහා සහ සැමට ප්‍රතිලාභ දෙන වර්ධනයක් තිරසාර ව පවත්වා ගැනීම සඳහා අඛණ්ඩ ව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

කොළඹ දී සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අතරතුර දී බලධාරීන් සමඟ සිදු කළ සාධනීය සාකච්ඡාවලින් අනතුරු ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායම විසින් වොෂින්ටන් නුවර දී පහත සඳහන් ප්‍රකාශය නිකුත් කරන ලදී.  

“බලධාරීන් විසින් පූර්ව ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත් ව, තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම තුළින් ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තෙවන සමාලෝචනය පිළිබඳ ව ශ්‍රී ලංකා බලධාරීන් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායම එකඟතාවයකට එළඹුණි.

“2017 වසරේ දෙසැම්බර් මාසයේ දී තෙවන සමාලෝචනය අවසාන කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් කරන ලද ඉල්ලීම විධායක මණ්ඩලය විසින් සලකා බලනු ඇතැ යි අපේක්ෂා කෙරෙන අතර ඒ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය ලැබෙන වැඩසටහනට අනුකූල වන පරිදි  2018 වර්ෂය සඳහා වන රජයේ අයවැය පූර්ව ක්‍රියාමාර්ගයක් ලෙස පාර්ලිමේන්තුවට යොමු කර තිබෙනු ඇතැ යි ද අපේක්ෂා කෙරේ. නව දේශීය ආදායම් පනත ක්‍රියාත්මක වීමත් සමඟ 2018 වසර සඳහා වන රාජ්‍ය අයවැය මගින් ආදායම් ශක්තිමත් වීමේ දායකත්වය ද සහිත ව රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව අඛණ්ඩ ව පවත්වා ගෙන යා යුතු ය. උද්ධමනය සහ ණය වර්ධනය මත පීඩනය අවම කිරීම සඳහා මහ බැංකුව සූදානම් ව සිටිය යුතු අතර විනිමය අනුපාතිකයේ නම්‍යශීලීත්වය අඛණ්ඩ ව පවත්වා ගත යුතු ය.

“බලධාරීන් විසින් රටේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය වර්ධනය කරමින් සිටී. ජාත්‍යන්තර සංචිත ශක්තිමත් කර තිබෙන නමුත් රජය සතු සංස්ථා අංශයේ ප්‍රතිසංස්කරණ තවදුරටත් සිදු විය යුතු ය. රාජ්‍ය මූල්‍ය සහ විදේශීය අංශවල අසමතුලිතතා කළමනාකරණය කර ගැනීමට සහ රජයේ සුභවාදී සමාජීය සහ සංවර්ධන අරමුණු ඉටු කර ගැනීම සඳහා ප්‍රතිසංස්කරණ අඛණ්ඩ ව ක්‍රියාත්මක කිරීම වැදගත් වේ. තරගකාරිත්වය නංවාලීම සඳහා ප්‍රයත්න දැරීම, සමාජ ආරක්ෂක වැඩසටහන් වැඩිදියුණු කිරීම සහ පෞද්ගලික අංශයේ සංවර්ධනය වැඩිදියුණු කිරීම ආර්ථික වර්ධනය වඩා ශක්තිමත් හා පරිපූර්ණ කිරීම සඳහා වැදගත් වනු ඇත.” 

 

 

 

 

Published Date: 

Monday, October 16, 2017