ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තු අනුව 2015 වසරේ තුන්වන කාර්තුවේ වාර්තා කරන ලද සියයට 5.6ක වර්ධනයට සාපේක්ෂ ව 2016 වසරේ තුන්වන කාර්තුව තුළ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.1කින් වර්ධනය වී ඇත. 2016 වසරේ තුන්වන කාර්තුව තුළ දී සේවා ආශ්‍රිත ක්‍රියාකාරකම් සියයට 4.7කින් වර්ධනය වී ඇති අතර කර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් සියයට 6.8කින් සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත. කෙ සේ වෙතත්, මෙම කාලසීමාව තුළ පැවැති අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් අඛණ්ඩ ව දෙවන වතාවටත් පහළ යෑමක් පෙන්නුම් කරමින් කෘෂිකර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් වසරේ තුන්වන කාර්තුව තුළ දී සියයට 1.9කින් සංකෝචනය විය. අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑම සහ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා පැවැතිය ද, ප්‍රධාන ආර්ථික දර්ශකවල යහපත් වර්ධනය මෙන් ම, 2015 වසරේ අවසාන කාර්තුව තුළ පැවැති අඩු ආර්ථික වර්ධනයේ පදනම් බලපෑම හේතුවෙන් 2016 වසරේ අවසාන කාර්තුව තුළ දී ආර්ථික වර්ධනය වඩා ඉහළ අගයක් ගැනීමේ හැකියාවක් පවතී.















ශ්‍රී ලංකා මහ බැංකුවේ නව වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2016 වසරේ දෙසැම්බර් මස 2 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්තුණ ශාලාවේ දී පැවැත් වී ය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව කාලීන තේමා ඔස්සේ පර්යේෂණ කිරීම දිරිගැන්වීම අරමුණු කර ගත්ත ද මහ බැංකු, මුදල් අධිකාරීන්, විශ්වවිද්‍යාල සහ අනෙකුත් පර්යේෂණ ආයතනවල පර්යේෂකයන් හට මහ බැංකු කටයුතු සහ සාර්ව ආර්ථික කළමනාකරණය පිළිබඳ මෑතකාලීන සෛද්ධාන්තික සහ ප්‍රායෝගික පර්යේෂණ ඉදිරිපත් කිරීම සඳහා ද සංසදයක් සකස් කරනු ලබයි. ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2008 වසරේ ආරම්භක සමුළුවේ සිට ලොව නන් දෙසින් විද්‍යාර්ථීන් ආකර්ෂණය කරනු ලබන සමුළුවක් වී ඇති අතර කීර්තිමත් මහ බැංකුකරුවන්, විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් එහි ප්‍රධාන දේශන පවත්වා ඇත. 