Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

2016 සැප්තැම්බර් මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2016 අගෝස්තු මාසයේ දී වාර්තා කළ සියයට 4.5 සිට 2016 සැප්තැම්බර් මාසයේ දී සියයට 4.7 දක්වා ඉහළ ගියේ ය. 2016 සැප්තැම්බර් මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය. 

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 අගෝස්තු මස වාර්තා වූ සියයට 3.6 සිට 2016 සැප්තැම්බර් මස දී සියයට 3.8 දක්වා ඉහළ ගියේ ය. 

තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා මහ බැංකුව බුන්වත් මූල්‍ය ආයතන හතරක් නිරාකරණය කරයි

2016 ඔක්තෝබර් මස 10 වැනි දින මහජනතාව වෙත නිවේදනය කළ පරිදි මුදල් මණ්ඩලය විසින් මූල්‍ය පද්ධතිය කෙරෙහි ඇති මහජන විශ්වාසය ආරක්ෂා කිරීම පිණිස අදාළ නීතිමය ප්‍රතිපාදනවලට අනුකූල ව බැංකු නො වන මූල්‍ය ආයතන ගණනාවක් නිරාකරණය කිරීම සම්බන්ධ ගැටළු 2016 ඔක්තෝබර් මස 14 වැනි දින පැවැති මුදල් මණ්ඩල රැස්වීමේ දී සලකා බලන ලදි. ඒ අනුව, මුදල් සමාගම් තුනක තැන්පත්කරුවන්ගේ තැන්පතු සහ එන්ට්‍රස්ට් සෙකියුරිටීස් පීඑල්සී සමාගමේ රාජ්‍ය සුරැකුම්පත් හා සම්බන්ධ නීත්‍යනුකූල ආයෝජකයන්ගේ මුදල් ආපසු ගෙවීම සඳහා නිිරාකරන ක්‍රමවේදයක් මුදල් මණ්ඩලය අනුමත කළේ ය. 

2016 ජූලි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

වෙළෙඳ හිඟය අඩු වීම, සංචාරක ඉපැයීම් ඉහළ යෑම සහ මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් ඉහළ යෑම සමඟ 2016 ජූලි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය වර්ධනය විය. අපනයන අඩු වීමට වඩා වැඩි වේගයකින් ආනයන අඩු වීම හේතුවෙන් ජූලි මාසය තුළ දී වෙළෙඳ හිඟය අඩු විය. පසුගිය වසරේ ජූලි මාසය සමඟ සැසඳීමේ දී මාසය තුළ සංචාරක ඉපැයීම් ඉහළ ගිය අතර විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අඩු විය. දසවන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව යටතේ ලැබුණු එක්සත් ජනපද ඩොලර් මිලියන 1,500, ඒකාබද්ධ ණය පහසුකම යටතේ ලැබුණු එක්සත් ජනපද ඩොලර් මිලියන 300 සහ කොළඹ කොටස් වෙළෙඳපොළ හා රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත ශුද්ධ ලැබීම් වාර්තා වීම සමඟ මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් ශක්තිමත් වූ අතර එ මගින් ගෙවුම් ශේෂය මත තිබූ පීඩනය ද අඩු විය. 

සම්පූර්ණ ලිපිය

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2016 සැප්තැම්බර්

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 අගෝස්තු මාසයේ දී වාර්තා කළ 53.5 සිට 2016 සැප්තැම්බර් මාසයේ දීී 57.7ක් දක්වා දර්ශක අගයන් 4.2කින් ඉහළ ගියේ ය. මේ සඳහා නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකයන්ගේ වර්ධනය බෙහෙවින් දායක විය. මෙහි දී පසුගිය මාසයට සාපේක්ෂ ව ගැනුම් තොග දර්ශකය නො වෙනස් ව පැවැති අතර නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක ඉහළ ගියේ ය. කෙ සේ නමුත්, සේවා නියුක්තිය සහ ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශක පසුගිය මාසයට සාපේක්ෂ ව පහළ ගියේ ය. තව ද, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0 හි පැවැති අතර අනෙකුත් සියලු ම උප දර්ශක කඩඉම් අගයට වඩා වැඩි අගයක් වාර්තා විය. මේ අතර, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි. 

මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන ප්‍රකාශයයි

මුදල් මණ්ඩලය විසින් 2016 ඔක්තෝබර් 14 වැනි දින පවත්වන ලද විශේෂ මුදල් මණ්ඩල රැස්වීමේ දී 2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සහ 2016 අගෝස්තු 31 දිනෙන් අවසන් මාස පහ තුළ ප්‍රාථමික වෙළෙඳුන්ගේ මූල්‍ය කාර්යසාධනය ඇතුළු සමස්ත ක්‍රියාකාරිත්වය පිළිබඳ ව වූ අතුරු වාර්තාව සැලකිල්ලට භාජනය කරන ලදි. එම වාර්තාව මගින් ප්‍රාථමික වෙළෙඳුන්ගේ ක්‍රියාකාරිත්වයේ තියුණු විෂමතා මෙන් ම භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළ තුළ ඔවුන්ගේ ගනුදෙනු රටාවේ පවතින යම් යම් ගැටලු සම්බන්ධයෙන් ද අවධානය යොමු කළේ ය. ඒ අනුව මුදල් මණ්ඩලය විසින් දැනට කරමින් පවතින පරීක්ෂණ වාර්තා ක්‍රියාවලිය කඩිනමින් නිම කරන ලෙස අදාළ පාර්ශ්වයන්ට උපදෙස් ලබා දෙන ලදි. මෙය මුදල් මණ්ඩලය ඉදිරියේ දී ගත යුතු ක්‍රියා මාර්ග කඩිනමින් නිර්ණය කිරීමට ඉවහල් වනු ඇත. 

මෑත දී පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳ මුදල් මණ්ඩල ප්‍රකාශයයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට යටත් රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ ප්‍රාථමික වෙළෙඳ ආයතනයක් වශයෙන් කටයුතු කරනු ලබන පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්හි පරීක්ෂණ වාර්තාව සඳහා පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරණයක් ලබා දී තිබුණි. 

මෙම වාර්තාව මහජනතාව වෙත නිකුත් කර ඇත්තේ නිසි අවසරයකින් තොරවයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නො වන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් එම වාර්තාව සම්බන්ධයෙන් වන අභ්‍යන්තර ක්‍රියාවලිය සම්පූර්ණ කර එහි අවසන් වාර්තාව මුදල් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර නොමැත. මෙම අනවසර හෙළිදරව් කිරීම නිසා ශ්‍රී ලංකා මහ බැංකුව තම අභ්‍යන්තර පාලන ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කර ඇති අතර මෙම වාර්තාව අනවසර ලෙස නිකුත් කිරීම සම්බන්ධයෙන් අදාළ නීති බලගැන්වීමේ අධිකාරීන්වලට දැනටමත් පැමිණිලි කොට ඇත. 

2016 ඔක්තෝබර් මස 3 වැනි දින පවත්වන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල රැස්වීමේ දී පීඩාවට පත් බැංකු නො වන මුදල් සමාගම් නගා සිටුවීම සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් ආයතනයේ වර්තමාන කාර්යයන් ඇතුළු ප්‍රාථමික වෙළෙඳ ආයතනවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ මුදල් මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට තීරණය කෙරිණි.

Pages