Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

වසර 2020 අග භාගය වන විට බලපත්‍රලාභී බැංකුවල අවම ප්‍රාග්ධනය ඉහළ නංවයි

ශක්තිමත් සහ ගතික බැංකු අංශයක් තහවුරු කරලීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වන අවම ප්‍රාග්ධන අවශ්‍යතාව ඉහළ නංවන ලදි. මේ සඳහා සලකා බලනු ලබන ප්‍රාග්ධනය බොහෝ දුරට අලාභ දරා ගැනීමට හැකි වන පරිදි ඉහළ ම ධාරිතාවකින් යුතු උසස් ගුණාත්මක බවක් ඇති ප්‍රාග්ධනයකි. 

බැංකු සතු ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ බාසල් III රාමුව ක්‍රියාත්මක කිරීමට මෙම අවම ප්‍රාග්ධන අවශ්‍යතාව ඉහළ නැංවීම උපකාරී වන අතර බැංකු අංශය තුළ සිදු කරනු ලබන ඒකාබද්ධ කිරීම් සඳහා ද මෙය මග පෙන්වීමක් විය හැක.

සම්පූර්ණ ලිපිය

2017 සැප්තැම්බර් මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 අගෝස්තු මාසයේ පැවති සියයට 7.9 ට සාපේක්ෂ ව 2017 සැප්තැම්බර් මාසයේ දී සියයට 8.6 ක් දක්වා ඉහළ ගියේ ය. 2017 සැප්තැම්බර් මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2017 අගෝස්තු මාසයේ දී වාර්තා වූ සියයට 6.5 හි සිට 2017 සැප්තැම්බර් මාසයේ දී සියයට 6.8  දක්වා ඉහළ ගියේ ය. 

2017 අගෝස්තු මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

2017 වසරේ අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේ ය. අපනයන ආදායම වර්ධනය වුව ද, ආනයන වියදම වැඩි වේගයකින් ඉහළ යෑම හේතුවෙන් 2017 අගෝස්තු මාසයේ දී වෙළඳ හිඟය පුළුල් විය. 2017 අගෝස්තු මාසයේ දී සංචාරක ඉපැයීම් ඉහළ ගිය ද, පුළුල් වූ වෙළඳ හිඟය සමඟ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ද අඩු වීම හේතුවෙන් විදේශීය ජංගම ගිණුමේ ක්‍රියාකාරිත්වය දුර්වල විය. කෙ සේ වෙතත්, විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකමට (Foreign Currency Term Financing Facility) අදාළ දෙවන වාරිකය රජය වෙත ලැබීම මෙන් ම කොළඹ කොටස් හුවමාරුව සහ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත වූ අඛණ්ඩ විදේශ විනිමය ලැබීම් හේතුවෙන් ගෙවුම් තුලනයේ මූල්‍ය ගි‍ණුම සවිමත් විය.  

සම්පූර්ණ ලිපිය

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකමේ තෙවන සමාලෝචනය පිළිබඳ ව නිලධාරී මට්ටමේ එකඟතාවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එළඹෙයි

මෙම ප්‍රකාශනයේ ඇති අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ගේ මතය වන අතර එ මගින් ‍‍‍ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ මතය පිළිබිඹු කිරීම අත්‍යවශ්‍ය නො වේ. මේ දක්වා නිරීක්ෂණය කොට ඇති කරුණු පදනම් කර ගෙන කළමනාකාරිත්වයේ අනුමැතියට යටත් ව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් විසින් වාර්තාවක් පිළියෙළ කරනු ලබයි. එම වාර්තාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡා කිරීමටත් තීරණ ගැනීම සඳහාත් ඉදිරිපත් කෙරෙයි.

  • නව දේශීය ආදායම් පනතෙහි දායකත්වය සහිත ව 2018 රජයේ අයවැය මගින් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව අඛණ්ඩ ව පවත්වා ගත යුතු ය. 
  • උද්ධමනය සහ ණය වර්ධනය මත වන පීඩනය කෙරෙහි මුදල් ප්‍රතිපත්තියේ අවධානය තවදුරටත් යොමු විය යුතු ය.
  • අවදානම් කළමනාකරණය කර ගැනීම සඳහා සහ සැමට ප්‍රතිලාභ දෙන වර්ධනයක් තිරසාර ව පවත්වා ගැනීම සඳහා අඛණ්ඩ ව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

කොළඹ දී සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අතරතුර දී බලධාරීන් සමඟ සිදු කළ සාධනීය සාකච්ඡාවලින් අනතුරු ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායම විසින් වොෂින්ටන් නුවර දී පහත සඳහන් ප්‍රකාශය නිකුත් කරන ලදී.  

Global Capital Markets සඟරාව දකුණු ආසියානු කලාපයේ වසරේ මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි නම් කරයි

ජනප‍්‍ර‍්‍රිය ප‍්‍ර‍්‍රකාශන ආයතනයක්  GlobalCapital   විසින් දකුණු ආසියානු කලාපයේ වසරේ මහ බැංකු අධිපතිවරයා ලෙස අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි නම් කර ඇති බව ශ‍්‍ර‍්‍රී ලංකා මහ බැංකුව සතුටින් නිවේදනය කරයි. ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සැසිවාර හා සමගාමී ව 2017 ඔක්තෝබර් 14 වන දා වොෂින්ටනයේ දී පැවැත්වූ GlobalCapital Markets සම්මාන ප‍්‍ර‍්‍රදානෝත්සවයේ දී මෙම සම්මානය ප‍්‍ර‍්‍රදානය කර තිබේ.  GlobalCapital යනු ජාත්‍යන්තර ප‍්‍ර‍්‍රාග්ධන වෙළෙඳපොළ හා සම්බන්ධ වී සිටින පුද්ගලයන් සහ ආයතන සඳහා ප‍්‍රවෘත්ති, උපදෙස් සහ දත්ත ලබා දෙන සේවාවකි.

(බලන්න  http;//www.globalcapital.com/about-global-capital )

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2017 සැප්තැම්බර්

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 සැප්තැම්බර් මාසයේ දී 59.0ක දර්ශක අගයක් වාර්තා කරන ලද අතර, එය 2017 අගෝස්තු මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 4.6ක වර්ධනයකි. ඒ අනුව, 2017 අගෝස්තු මාසයට සාපේක්ෂ ව සැප්තැම්බර් මාසයේ දී නිෂ්පාදන කටයුතු ඉහළ වේගයකින් වර්ධනය වීමක් පිළිඹිබු වේ. මෙම ඉහළ යෑම සඳහා පසුගිය මාසයේ පහත වැටුණු සේවා නියුක්තිකයන්ගේ උප දර්ශකය, නව ශ්‍රමිකයන් බඳවා ගත් බැවින් යථා තත්ත්වයට පත්වීම විශේෂයෙන් ම හේතු විය. තව ද, 2017 සැප්තැම්බර් මාසයේ දී නිෂ්පාදන සහ නව ඇණවුම් යන උප දර්ශක ඉහළ වේගයකින් වර්ධනය විය. පසුගිය මාසයේ දී දක්නට ලැබුණු තොග අතිරික්තය හේතුවෙන් මෙම මාසයේ දී ගැනුම් තොග උප දර්ශකය අඩු වේගයකින් වර්ධනය විය. ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය යන උප දර්ශකය පසුගිය මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් වර්ධනය විය. සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලදී. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා යහපත් අගයක් වාර්තා කරයි.

Pages