Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

2017 ජූනි මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 මැයි මාසයේ දී වාර්තා ක‍ළ සියයට 7.1 හි සිට 2017 ජූනි මාසයේ දී සියයට 6.3 දක්වා පහළ ගියේ ය. 2017 ජූනි මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2017 ජූනි මාසයේ දී පසුගිය මාසයේ දී පැවැති සියයට 6.1 හි නො වෙනස් ව පැවැතුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විස්තීර්ණ ණය පහසුකම යටතේ එකසත් ජනපද ඩොලර් මිලියන 167.2ක තෙවන වාරිකය මුදා හැරීමට නියමිතයි

2016 ජූනි මස දී ශ්‍රී ලංකාව ලබා ගත් තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමට අදාළ දෙවන සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සාර්ථක ව සම්පූර්ණ කරන ලද අතර විශේෂ ගැනුම් හිමිකම් මිලියන 119.894ක (දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 167.2ක) වටිනාකමින් යුතු තුන් වැනි වාරිකය 2017 ජූලි 19 වැනි දින මුදා හැරීමට නියමිත ය. 

කොළඹ දී පවත්වන ලද ආසියානු නිෂ්කාශන සංගමයේ 46 වැනි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම

ආසියානු නිෂ්කාශන සංගමයේ තාක්ෂණික කමිටුවේ රැස්වීම සහ ආසියානු නිෂ්කාශන සංගමයේ 46 වැනි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම 2017 ජූලි මස 12 සහ 13 යන දිනයන්හි දී පැවැත් වූ අතර එහි සත්කාරක කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලදී. 

ආසියානු නිෂ්කාශන සංගමයේ වර්තමාන සාමාජිකත්වය මහ බැංකු / මූල්‍ය අධිකාරීන් 9කින් සමන්විත වේ. බංගලාදේශය, භූතානය, ඉන්දියාව, ඉරානය, මාලදිවයින, මියන්මාරය, නේපාලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව ආසියානු නිෂ්කාශන සංගමයේ වර්තමාන සාමාජිකයින් වේ. ආසියානු නිෂ්කාශන සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලය එම රටවල මහ බැංකු අධිපතිවරුන් / මූල්‍ය අධිකාරින්හි ප්‍රධානීන්ගෙන් සමන්විත වේ. ආසියානු නිෂ්කාශන සංගමයේ කාර්යයන් අධ්‍යක්ෂ මණ්ඩලයට වග කියනු ලබන මහ ලේකම්වරයෙකු යටතේ සිදු කරනු ලබන අතර එහි ලේකම් කාර්යාලය ඉරානයේ ටෙහෙරාන්හි පිහිටා ඇත. 

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2017 ජූනි

නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2017 ජූනි මාසයේ දී 56.1ක දර්ශක අගයක් වාර්තා කරමින්, 2017 මැයි මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 1.8කින් පහළ යන ලදී. අහිතකර කාලගුණික තත්ත්වයන්ගේ යම් පමණකට වූ බලපෑම මත නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකයන්ගේ පහළ යෑම 2017 ජූනි මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් මැයි මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් වර්ධනය වීමට හේතු විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ගැනුම් තොග මට්ටම ඉහළ ගිය අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය සුළු වශයෙන් පහළ යන ලදී. කෙ සේ වුව ද, පසු ගිය මාසයේ දී වාර්තා කළ පහත වැටීමට සාපේක්ෂ ව සේවා නියුක්ති උප දර්ශකය මෙම මාසය තුළ දී ඉහළ යෑමක් පෙන්නුම් කරන ලදී. තව ද, සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලදී. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි.

කොළඹ දී පවත්වන ලද දකුණු අාසියාතික සංගමයේ (සාර්ක්) මූල්‍ය ජාලයේ කණ්ඩායම් රැස්වීම සහ සාර්ක් මූල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ සම්මන්ත්‍රණය

සාර්ක් මූල්‍ය ජාලයේ 34 වැනි කණ්ඩායම් රැස්වීම සහ සාර්ක් මූල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා මහ බැංකුවේ සත්කාරකත්වයෙන් යුතු ව 2017 ජූලි මස 12 වැනි දින කොළඹ දී පවත්වන ලදි. සාර්ක් මූල්‍ය ජාලයේ 34 වැනි කණ්ඩායම් රැස්වීම සඳහා සාර්ක් කලාපයේ මහ බැංකු අධිපතිවරු, මුදල් අමාත්‍යාංශ ලේකම්වරු සහ සාර්ක් කලාපීය මහ බැංකු සහ මුදල් අමාත්‍යාංශවල නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ. 

මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ විසි වැනි වාර්ෂික සමුළුව 2017 ජූලි 17 සිට 21 දක්වා කොළඹ දී

මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ විසි වැනි වාර්ෂික සමුළුව සාමාජික රටවල් 41ක් සහ විවිධ අන්තර්ජාතික නිරීක්ෂණ සංවිධාන රැසක නියෝජනය සහිත දේශීය සහ විදේශීය ආරාධිතයන් 450කගේ පමණ සහභාගීත්වයෙන් 2017 ජූලි මස 17 සිට 21 දක්වා කොළඹ දී පැවැත්වේ. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වේ. 

Pages

නිවේදන