Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවේ දස වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව

ශ්‍රී ලංකා මහ බැංකුවේ දසවැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2017 වසරේ දෙසැම්බර් මස 8 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වී ය. මෙම සමුළුව ප්‍රතිපත්ති සම්පාදන සහ අධ්‍යාපන ආයතනවල පර්යේෂකයන් සඳහා තම අත්දැකීම් සහ අදහස් ඉදිරිපත් කිරීම සඳහා සංසදයක් සකස් කර දෙන අතර ම මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රතිපත්තිමය ගැටලු පිළිබඳ නව්‍ය පර්යේෂණ සිදු කිරීම දිරිගැන්වීම අරමුණු කර ගනිමින් දීප්තිමත් අනාගතයක් සඳහා වූ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ යන තේමාව යටතේ පවත්වනු ලැබීය.

පෙර වසරවල දී මෙන් ම,  දසවැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව සඳහා ලොව පුරා මහ බැංකු, පර්යේෂණ ආයතන සහ නම් දැරූ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් කීර්තිමත් පර්යේෂකයින් රැසක් සහභාගී විය. 

විස්තීර්ණ ණය පහසුකම යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 251.4 ක සිව්වන වාරිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුදා හරියි

ශ්‍රී ලංකාව ලබා ගත් තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමට අදාළ තෙවන සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව විසින් සම්පූර්ණ කරන ලද අතර ඒ අනුව විශේෂ ගැනුම් හිමිකම් මිලියන 177.774ක (දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර්මි ලියන 251.4 ක) වටිනාකමින් යුතු සිව්වැනි වාරිකය ශ්‍රී ලංකාව වෙත මුදා හැර ඇත.

ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය - 2016

සමස්ත රටේ සහ එහි පළාත්වල සෞභාග්‍ය තත්ත්වය මැනීම සහ සැසඳීම සිදු කරනු ලබන බහුමාන දර්ශකයක් වන ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය පෙර වසරේ වාර්තා කළ 0.685ක අගයේ සිට 2016 වසරේ දී 0.746 දක්වා වර්ධනය වී ඇත. ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකයේ උප දර්ශකවල හැසිරීම විශ්ලේෂණය කිරීමේ දී 2015 වසරේ සිට 2016 වසර දක්වා වූ කාල පරිච්ඡේදය තුළ දී ආර්ථික සහ ව්‍යාපාරික පරිසරය සහ ජන ජීවිතයේ යහපැවැත්ම මනිනු ලබන උප දර්ශක වර්ධනය වූ අතර සමාජ ආර්ථික යටිතල පහසුකම් උප දර්ශකය සුළු වශයෙන් අඩු විය. 

අර්බුදවලට පත් වී ඇති මුදල් සමාගම් සම්බන්ධ ව ගනු ලබන නියාමන ක්‍රියා මාර්ග

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ මුදල් ව්‍යාපාර කටයුතු කර ගෙන යෑම සඳහා සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය වෙත ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කිරීමේ නිවේදනයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2017.11.06 වැනි දින තීරණය කරන ලදි. 

ආයතනයේ දුර්වල කළමනාකරණය සහ කළමනාකාරිත්වය විසින් සිදු කළ අක්‍රමවත් ගනුදෙනු නිසා සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය 2013 වර්ෂයේ සිට බලවත් ද්‍රවශීලතා අර්බුදවලට මුහුණ දෙමින් සිටියි. මෙම ආයතනයේ අධ්‍යක්ෂවරුන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය විසින් ව්‍යාපාරයේ වත්කම්වල වටිනාකම වංචනික ව වැඩි අගයකින් පෙන්වා ඇති අතර එම වත්කම් ව්‍යාජ හෝ වෙනත් බැඳීම්වලට යටත් බව ඒ හා සම්බන්ධ ලේඛණ පරික්ෂාවට ලක් කිරීමේ දී අනාවරණය වී ඇත. 

2017 අංක 12 දරන විදේශ විනිමය පනත ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ විනිමය දෙපාර්තමේන්තුව පිහිටුවයි

ප්‍රාග්ධන ප්‍රවාහ තවදුරටත් ලිහිල් කිරීම සහ ජංගම ගිණුම් ගනුදෙනු සහ විවිධ වර්ගයේ විදේශ ව්‍යවහාර මුදල්/රුපියල් ගිණුම් සම්බන්ධයෙන් වූ ක්‍රියාවලීන් තවදුරටත් සරල කිරීම සඳහා නව විදේශ විනිමය නීති හඳුන්වාදෙන බව රජය විසින් 2016 අයවැය යෝජනාවේ ප්‍රකාශයට පත්කරන ලදී.

මෙම නිවේදනය හා සමගාමී ව, 1953 අංක 24 දරන විනිමය පාලන පනත ඉවත් කරමින් 2017 නොවැම්බර් 20 දින සිට විදේශ විනිමය මෙහෙයුම් සඳහා වූ නව නෛතික සහ ප්‍රතිපත්ති රාමුවක් 2017 අංක 12 දරන විදේශ විනිමය පනත මගින් හඳුන්වා දෙන ලදී.  ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුතින් පිහිටුවන ලද විදේශ විනිමය දෙපාර්තමේන්තුව මගින් නව පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ ගරු අමාත්‍යවරයා විසින් නව පනත යටතේ නිකුත් කළ නියෝග සහ නියම 2017 නොවැම්බර් 17 දිනැති අංක 2045/56 දරන ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද අතර 2017 නොවැම්බර් 20 දින විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් අදාළ විධිවිධාන බලයලත් වෙළෙඳුන්ට නිකුත් කරන ලදී.

වැඩි විස්තර අපගේ www.dfe.lk යන වෙබ් අඩවියෙන් හෝ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ පහත සඳහන් දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැක.

2017 සැප්තැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

අඛණ්ඩ ව තෙවන මාසයට ද එක්සත් ජනපද ඩොලර් බිලියනයක සීමාව පසු කරමින් 2017 වසරේ සැප්තැම්බර් මාසයේ දී අපනයන අංක දෙකක අගයකින් වර්ධනය වී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය කෙරෙහි දායක විය.  කෙ සේ වුවත්, මාසය තුළ දී ඉන්ධන සහ සහල් ආනයන ඉහළ යෑම හේතුවෙන් වෙළඳ හිඟය පුළුල් විය. 2016 සැප්තැම්බර් මාසයට සාපේක්ෂ ව සංචාරකයන් පැමිණෙන ප්‍රධාන රටවලින් පැමිණි සංචාරකයන් ප්‍රමාණය සුළු වශයෙන් පහළ යෑමත් සමඟ මාසය තුළ දී සංචාරක ඉපැයීම් ද සුළු වශයෙන් අඩු විය. සැප්තැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අඛණ්ඩ ව අඩු වූ අතර එය 2017 වසරේ පළමු මාස නවය තුළ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ කැපී පෙනෙන ලෙස අඩු වීම සඳහා හේතු විය. කෙ සේ වුව ද, අඛණ්ඩ ආයෝජක විශ්වාසය පිළිබිඹු කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත වූ ඉහළ විදේශීය ලැබීම් සමඟ මාසය තුළ දී ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම අඛණ්ඩ ව ශක්තිමත් විය.

Pages