Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

බැංකු අධ්‍යක්ෂවරයෙකු බැඳියාවක් දක්වනු ලබන ආයතනයකට හෝ ව්‍යාපාරයකට ලබා දෙනු ලබන ණය සම්බන්ධයෙන් කරනු ලබන පැහැදිලි කිරීමයි

බලපත්‍රලාභී බැංකුවක (මින් මතු, බැංකුව) අධ්‍යක්ෂවරයෙකු විසින් සෘජු ව හෝ වක්‍ර ලෙස බැඳියාවක් දක්වනු ලබන ව්‍යාපාරයක් සඳහා ලබා දෙනු ලබන ණය පිළිබඳ ව මෑතක දී මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා ඉදිරිපත් කර තිබූ කරුණු සැලකිල්ලට ගනිමින් ඒ හා අදාළ වන නියාමන සහ අධීක්ෂණ රෙගුලාසි පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2018 ජූලි

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 ජුනි මස වාර්තා කළ 57.6ක අගයට සාපේක්ෂ ව 2018 ජූලි මාසයේ දී 57.2ක දර්ශක අගයක් දක්වා අඩු විය. මෙම ආන්තික පහත වැටීම සඳහා විශේෂයෙන් ම සේවා නියුක්තියේ අඩු වීම බලපාන ලදි. ආහාරපාන සහ රෙදිපිළි හා නිමි ඇඳුම් යන අංශයන්හි නුපුහුණු සේවකයින් සේවය හැර යාමත් සමඟ නවක සේවකයින් බඳවා ගැනීමේ අපහසුතාව මේ සඳහා බලපාන ලදි. තව ද, 2018 ජූලි මාසයේ දී නව ඇණවුම් සුළු වශයෙන් පහත වැටුණි. කෙ සේ වුව ද, ඉදිරි මාස තුන සඳහා රසායන ද්‍රව්‍ය හා ඖෂධ නිෂ්පාදන අංශයේ ව්‍යාපාර ක්‍රියාකාරකම්හි අපේක්ෂිත වර්ධනයත් සමඟ නිෂ්පාදන සහ ගැනුම් තොග වර්ධනය විය. මේ අතර, සාමාන්‍යයෙන් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය ඉහළ යෑම තුළින් ආර්ථිකය වර්ධනය වන බව පිළිඹිබු වේ. එ නමුත්, මෙම මාසයේ දී ලෝක වෙළෙඳපොළ තුළ අමුද්‍රව්‍ය හිඟ වීම සහ අයහපත් කාළගුණය හේතුවෙන් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය ඉහළ යන ලදී. එම නිසා, ආර්ථිකයේ වර්ධනයක් එ මගින් පිළිඹිබු නො වේ.

ප්‍රාථමික අලෙවිකරුවෙකු මත ගනු ලබන නියාමන ක්‍රියාමාර්ගය - පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කර ගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සීහි ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2018 අගෝස්තු මස 15 වැනි දින පෙරවරු 10.00 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවීමට තීරණය කරන ලදි.

මෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් රජයේ සුරැකුම්පත් සඳහා වන ප්‍රාථමික වෙන්දේසිවලට පෑන් ඒෂියා බැංකුවට සහභාගී වීමට ඇති හැකියාව අත්හිටුවනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවධාරණය කරනු ලැබේ. කෙ සේ වෙතත්, මෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් පෑන් ඒෂියා බැංකුවේ අනෙකුත් ක්‍රියාකාරකම් හා සේවාවන් සඳහා කිසිඳු බලපෑමක් ඇති නො වේ. 

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති ‍පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ ම පවත්වා ගනියි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 අගෝස්තු මස 02 වැනි දින පැවැති රැස්වීමේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ ම පවත්වා ගැනීමට තීරණය කළේ ය. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.25 සහ සියයට 8.50 මට්ටමේ පවතී. මුදල් මණ්ඩලයේ මෙම තීරණය මැදිකාලීන වශයෙන් උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථාවර කිරීම සහ එ මගින්  ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉහළ සහ තිරසාර  වර්ධනයක් පවත්වා ගැනීම සඳහා දායක වීම යන මහ බැංකුවේ අරමුණු හා අනුකූල වේ. මුදල් මණ්ඩලය මෙම තීරණය වෙත එළැඹීමේ දී දැනට පවත්නා සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය ආර්ථික වර්ධනයන් පුළුල් ලෙස සලකා ඇත. 

ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් වෙත 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරන ලද බලපත්‍රය සහ 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කරන ලද ලියාපදිංචි කිරීමේ සහතිකය අවලංගු කරයි

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය, 2008 වසරේ සිට මූල්‍යමය අර්බුදයකට මුහුණ දීමට සිදු ව ඇත. මෙම ආයතනයේ තැන්පත්කරුවන්ට පසුගිය වසර දහය පුරා ම සිය තැන්පතු මුදල් නැවත ලබා ගැනීමට නො හැකි වී ඇත. විවිධ උපායමාර්ග හරහා ආයතනය නැවත නගා සිටුවීම සඳහා ගත් සියලු ප්‍රයත්නයන් අසාර්ථක වී ඇති අතර, වර්තමානයේ පවතින තත්ත්වයෙන් මෙම සමාගම අඛණ්ඩ ව පවත්වා ගෙන යෑම තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් පාර්ශ්වයන්ගේ යහපතට තවදුරටත් හානි වනු ඇත.

එ බැවින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය වෙත නිකුත් කළ බලපත්‍රය, 2018 ජූලි මස 25 දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව, එම දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයට 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ මුදල් ව්‍යාපාර කටයුතු කර ගෙන යෑමට අවසරයක් නොමැත.

2018 ජූනි මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2018 මැයි මාසයේ දී පැවැති සියයට 2.1ට සාපේක්ෂ ව  2018 ජුනි මාසයේ දී සියයට 2.5ක් දක්වා ඉහළ ගියේ ය. මෙම ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම ප්‍රධාන වශයෙන් දායක විය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2018 මැයි මාසයේ දී වාර්තා වූ සියයට 5.7 සිට 2018 ජුනි මාසයේ දී සියයට 5.3 දක්වා පහළ ගියේ ය. 

මාසික වෙනස්වීම් සැලකූ විට විශේෂයෙන් එළවළු, නැවුම් මත්‍ස්‍ය, අමු මිරිස් සහ අර්තාපල් වැනි ආහාර කාණ්ඩයට අයත් අයිතමවල මිල ගණන් ඉහළ යෑම  ජාතික පාරිභෝගික මිල දර්ශකය 2018 මැයි මාසයේ වාර්තා වූ දර්ශක අංක 124.3 සිට 2018 ජුනි මාසයේ දී දර්ශක අංක 126.5 දක්වා ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් දායක විය. මේ අතර පෙට්‍රල්, ඩීසල් සහ බස් ගාස්තුවල සිදු වූ පරිපාලිත මිල සංශෝධන හේතුවෙන් ආහාර නො වන කාණ්ඩයට අයත් ප්‍රවාහන උප අංශයේ සැලකිය යුතු මිල ඉහළ යෑමක් දක්නට ලැබිණි. 

Pages

මාධ්‍ය නිවේදන