Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2018 නොවැම්බර්

නොවැම්බර් මාසයෙහි දක්නට ලැබුණු මෙම අඩු වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන්ම, නිමි ඇඳුම් නිෂ්පාදන අංශයෙහි නව ඇණවුම් සහ නිෂ්පාදනවල දක්නට ලැබුණු මන්දගාමීත්වය හේතු විය. කෙසේ වුවද, උත්සව සමයෙහි ඇතිවන ඉල්ලුම හේතුවෙන්, ආහාර සහ පාන අංශයෙහි නව ඇණවුම් සහ නිෂ්පාදනවල වර්ධනයක් දක්නට ලැබුණි. සේවා නියුක්තිය පෙර මාසයට සාපේක්ෂව නොවෙනස්ව පැවති අතර, ඒ සඳහා විශේෂයෙන්ම ගෘහ භාණ්ඩ නිෂ්පාදන අංශය සඳහා සේවකයන් සොයාගැනීමේ අපහසුතාවය ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර, නිමි ඇඳුම් අංශයෙහි නිෂ්පාදනයෙහි දක්නට ලැබුණු මන්දගාමීත්වය හේතුවෙන්, සමස්ත ගැනුම් තොගය පහළ යන ලදී. තවද, ආහාර සහ පාන අංශයෙහි නිෂ්පාදන කටයුතු වේගවත් කිරීම සඳහා ඇතිවූ ඉල්ලුම හේතුවෙන්, ඇණවුම් සැපයීමට සැපයුම්කරුවන් විසින් අඩු කාලයක් ගත කළ බැවින්, එම අංශයෙහි ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය අඩු වේගයකින් ඉහළ යන ලදී.

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයෙහි සියලුම උප දර්ශක, කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0 ට වඩා වැඩි අගයක් වාර්තා කළද, 2018 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම් අඩු වේගයකින් වර්ධනය වූ බව පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය එකොළොස්වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව පැවැත්වීය

ශ්‍රී ලංකා මහ බැංකුව සිය එකොළොස්වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2018 වසරේ දෙසැම්බර් මස 07 වැනි දින ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වී ය. මෙම සමුළුව, විවිධ විෂය පරාසයන්ට අයත් පර්යේෂකයන්ට තම අත්දැකීම් සහ අදහස් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන අතර ම, කාලීන සාර්ව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සෛද්ධාන්තික සහ ප්‍රායෝගික පර්යේෂණ සිදු කිරීම දිරිගැන්වීම අරමුණු කර ගනිමින් වාර්ෂික ව පවත්වනු ලබයි. මෙම වසරේ සමුළුව “උද්ධමන ඉලක්කකරණය සහ මහ බැංකුවේ ස්වාධීනත්වය, වගවීම සහ විනිවිදභාවය” යන තේමාව යටතේ පවත්වනු ලැබී ය.

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑන්ස් ලිමිටඩ්හි තැන්පතුකරුවන් හට වන්දි මුදල් ලබා දීම

මුදල් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් ක්‍රෙඩිට් ෆයිනෑන්ස් ලිමිටඩ් වෙත ලබා දී තිබූ බලපත්‍රය 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන ප්‍රකාරව, 2018.07.25 දින සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන ලදී.

ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑන්ස් ලිමිටඩ්හි තැන්පතුකරුවන් හට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ වන්දි මුදල් ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයට අදාළව නිකුත් කර ඇති රෙගුලාසීන්ට අනුකූලව මෙම වන්දි මුදල් ලබා දීමට කටයුතු කරනු ඇති අතර වන්දි මුදල් සඳහා අයදුම් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ඔස්සේ උපදෙස් ලබා දෙනු ඇත.

එකී දැනුම්දීම මාධ්‍යවල පළ වූ පසුව, අදාළ උපදෙස් ප්‍රකාරව නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් නියමිත ලිපි ලේඛන ද සමග ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ හා බලගැන්වීම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑන්ස් ලිමිටඩ්හි තැන්පතුකරුවන් වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

අග්නිදිග ආසියානු මහ බැංකු ආයතනයෙහි (සියැසන් - SEACEN) අධිපතිවරුන්ගේ 54 වෙනි සමුළුව/ උසස් මට්ටමේ සම්මන්ත්‍රණය හා සියැසන් අධිපති මණ්ඩලයෙහි 38 වෙනි රැස්වීම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියැසන් අධිපතිවරුන්ගේ 54 වෙනි සමුළුව/උසස් මට්ටමේ සම්මන්ත්‍රණය හා සියැසන් අධිපති මණ්ඩලයෙහි 38 වෙනි රැස්වීම 2018 වසරේ නොවැම්බර් මස 29 වනදා සිට දෙසැම්බර් මස 02 වනදා දක්වා කොළඹ දී පැවැත්වීමට අනුග්‍රහය දක්වන ලදී. එම සමුළුව සඳහා සියැසන් සාමාජික මහ බැංකු හා මූල්‍ය අධිකාරීන්හි අධිපතිවරු සහ නියෝජිතයෝ සහභාගි වූහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, මිත්සුහිරෝ ෆුරුසාවා මහතා ප්‍රධාන දේශකයා ලෙස සමුළුවට සහභාගි විය.

සියැසන් මධ්‍යස්ථානය ආසියා පැසිෆික් කලාපය තුළ මූල්‍ය, මුදල් හා බැංකු ආශ්‍රිත කරුණු පිළිබඳව වඩාත් පුළුල් අවබෝධයක් ලබාදීම සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. 1982 වර්ෂයේදී පිහිටුවන ලද සියැසන් ආයතනය ආසියා පැසිෆික් කලාපයේ පිහිටි මහ බැංකු හා මූල්‍ය අධිකාරීන්ට අධ්‍යාපනික වැඩසටහන්, පර්යේෂණ කටයුතු සහ සම්බන්ධතා හරහා සිය සේවා ලබාදෙයි.

ශ්‍රේණිගත කිරීම් ආයතනවල නවතම ශ්‍රේණිගත කිරීමේ තීරණ සමඟ ‍‍ශ්‍රී ලංකා මහ බැංකුව එකඟ නොවේ

2018 දෙසැම්බර් මස 03 වන දින ෆිච් ආයතනය (ෆිච් රේටින්ග්ස්) සහ 2018 දෙසැම්බර් මස 04 වන දින ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස්) විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශීය ණය ශ්‍රේණිගත කිරීම ‘B+’ (ස්ථාවර) සිට ‘B’ (ස්ථාවර) මට්ටම දක්වා පහත හෙලීමට ගත් තීරණ රටෙහි සාර්ව ආර්ථික මූලධර්ම මගින් පි‍ළිබි‍ඹු සා‍ධකවලට පටහැනිව සිදු කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මතයයි.

2018 සැප්තැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

2018 වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය පීඩනයකට ලක්විය. වෙළඳ හිඟය පුළුල් වීම සහ එ.ජ. ඩොලරය ශක්තිමත් වීම හේතුවෙන් විවිධ කෙටිකාලීන ආයෝජන ආපසු රැගෙන යෑම්, මෙම මාසයේ දී ගෙවුම් තුලනය කෙරෙහි අහිතකර ලෙස බලපෑවේය. අඛණ්ඩව සිව්වැනි මාසයටත් අපනයන ආදායම එ.ජ. ඩොලර් බිලියනය ඉක්මවා ගියද, අපනයන ආදායමේ වර්ධනයට වඩා වැඩි වේගයකින් ආනයන වියදම වර්ධනය විය. ගෝලීය මූල්‍ය වෙළඳපොළ ශක්තිමත් වීම හමුවේ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙතින් විදේශීය ආයෝජන ආපසු රැගෙන යෑම් වාර්තා විය. මේ අතර, 2018 සැප්තැම්බර් මාසයේදී කොළඹ කොටස් වෙළඳ‍පොළෙහි ද විදේශීය ආයෝජන නැවත රැගෙන යෑම් දක්නට ලැබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, වසරේ පළමු මාස අට තුළ දී එ.ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 5.3 කින් අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල, දේශීය විදේශ විනිමය වෙළඳපොළේ පීඩනය පිළිබිඹු කරමින් සැප්තැම්බර් මාසයේ දී සියයට 4.6 කින් තවදුරටත් අවප්‍රමාණය විය. මෙම තත්ත්වයන් හේතුවෙන්, විනිමය අනුපාතිකයේ අධික උච්චාවචනයන් අඩුකිරීම සඳහා විදේශ විනිමය වෙළඳපොළ වෙත මහ බැංකුවේ මැදිහත්වීම අවශ්‍ය විය. 2018 සැප්තැම්බර් අවසානය වන විට රටෙහි දළ නිල සංචිත ප්‍රමාණය ආනයනික මාස 3.8 කට සමාන වන පරිදි එ.ජ. ඩොලර් බිලියන 7.2 ක මට්ටමක පැවතුණි.

Pages