Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2018 ඔක්තෝබර්

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයෙහි සියලුම උප දර්ශක, කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0 ට වඩා වැඩි අගයක් වාර්තා කරමින් 2018 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම් වැඩි වේගයකින් වර්ධනය වූ බව පෙන්නුම් කරයි. ඔක්තෝබර් මාසයෙහි දක්නට ලැබුණු මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන්ම, උත්සව සමයෙහි ආහාර සහ පාන නිෂ්පාදනය සඳහා ඇතිවන ඉල්ලුම හේතුවෙන්, නව ඇණවුම් සහ නිෂ්පාදනවල දක්නට ලැබුණු වර්ධනය හේතු විය. ආහාර සහ පාන අංශයෙහි සේවා නියුක්තිය, සෘතුමය ප්‍රවණතා හේතුවෙන් යම් වර්ධනයක් පෙන්නුම් කළද, සමස්ත සේවා නියුක්තියෙහි අඩු වර්ධනයක් පෙන්නුම් කරන ලදී. සේවකයන් සොයාගැනීමේ අපහසුතාවය හේතුවෙන්, රෙදිපිළි සහ නිමි ඇඳුම් නිෂ්පාදන අංශයෙහි සේවා නියුක්තියෙහි දක්නට ලැබුණු අඩු වර්ධනය මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය.

වංචා සහගත මූල්‍ය ගනුදෙනු/වංචනික විද්‍යුත් තැපැල් පණිවිඩ පිළිබඳ ව සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි

විද්‍යුත් තැපෑල සහ සමාජ මාධ්‍යයන් ඔස්සේ මෑත කාලීන ව ව්‍යාප්ත වන ජනතාව මුලා කරවන සුලු මූල්‍ය වංචාවන්ට අදාළ පණිවිඩ පිළිබඳ ව මහජනතාව වෙතින් ඉදිරිපත් වී ඇති දුක් ගැනවිලි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත. වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීමට මහජනතාව පොළඹවා ගැනීම සඳහා විශ්වාසදායී ආයතන ලෙස පෙනී සිටිමින් මෙම වංචාකරුවන් විසින් ශ්‍රී ලංකා මහ බැංකු ලාංඡනය, මහ බැංකු මූලස්ථාන ගොඩනැගිල්ලෙහි රූප සහ මහ බැංකුවේ සේවය කරන ජ්‍යේෂ්ඨ නිලධාරින්ගේ නම් භාවිත කරන බව ද වාර්තා වී ඇත.

මුදල් ප්‍රතිපත්ති විවරණය - 2018 අංක 7

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 නොවැම්බර් මස 13 වැනි දින පැවති රැස්වීමේ දී වාණිජ බැංකු වෙතැති සියලුම රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) පහත හෙළීමට තීරණය කළේය. මෙම තීරණයෙහි බලපෑම සමනය කිරීම සඳහා සහ සිය මධ්‍යස්ථ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) පදනම් අංක 75 කින් සියයට 8.00 දක්වාද නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 කින් සියයට 9.00 දක්වාද ඉහළ නැංවීමට මුදල් මණ්ඩලය තීරණය කළේය. 

මැදිකාලීනව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී ලෙස පවත්වා ගැනීම මගින් ආර්ථිකයට සිය උපරිම වර්ධන මට්ටමට ළඟා වීම සඳහා සහාය වීමේ පුළුල් අරමුණ ඇතිව, දැනට පවත්නා සහ අපේක්ෂිත දේශීය හා විදේශීය ආර්ථික වර්ධනයන් මෙන්ම, දේශීය මූල්‍ය වෙළඳපොළ තත්ත්වද පරීක්ෂාකාරී ලෙස සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය ඉහත තීරණයට එළඹියේය. 

සම්පූර්ණ ලිපිය

ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, 2018 නොවැම්බර් 01 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මෙහි මූලික පරාමාර්ථය වී ඇත්තේ මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ අනෙකුත් අදාළ අපරාධ විමර්ශනය කිරීම සහ නඩු පැවරීම් කටයුතු සඳහා බුද්ධිමය තොරතුරු ලබා ගැනීමයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. එච්. කේ. ජගත් චන්ද්‍රසිරි මහතා සහ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ඩි. එම්. රූපසිංහ මහතා විසින්, මෙම අවබෝධතා ගිවිසුම මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඉදිරියේ අත්සන් තබන ලදී.

නව නියෝජ්‍ය අධිපතිවරුන් පත් කිරීම

මුදල් මණ්ඩලය විසින් ගරු මුදල් අමාත්‍යතුමාගේ අනුමැතිය සහිතව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරුන් වන එස්.ආර් ආටිගල මහතා සහ එච්.ඒ කරුණාරත්න මහතා 2018 ඔක්තෝබර් මස 31 වැනි දින සිට නියෝජ්‍ය අධිපති තනතුර සඳහා පත්කර ඇත.

මුදල් අච්චු ගැසීම පිළිබඳව සාවද්‍ය පුවත්පත් ලිපි

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වැඩි වශයෙන් මුදල් අච්චු ගැසූ බවට මෑතකදී පළවූ පුවත්පත් ලිපි පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත. එවැනි ලිපිවල අඩංගු සංකල්ප සහ කරුණු ඉතා සාවද්‍ය සහ නොමඟ යවන සුළු බැවින් ශ්‍රී ලංකා මහ බැංකුව පහත සඳහන් පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමට අදහස් කරයි.

මෙම පුවත්පත් ලිපි මගින් රජයේ රාජ්‍ය මූල්‍ය අවශ්‍යතා පියවීමට සහාය වීම සඳහා මෑත කාලීනව ශ්‍රී ලංකා මහ බැංකුව විශාල වශයෙන් මුදල් අච්චු ගසා ඇති බව දක්වා ඇත. සාමාන්‍යයෙන්, මුදල් අච්චු ගැසීම මහ බැංකුවේ සංචිත මුදල්වල (අධි බලැති මුදල්වල) ප්‍රසාරණයක් ලෙස සැලකේ. 2017 වසර අවසානයේදී රුපියල් බිලියන 939.8 ක් වූ සංචිත මුදල් 2018 වසරේ සැප්තැම්බර් අවසානයේ රුපියල් බිලියන 1,010.5 වූ අතර, නොවැම්බර් 02 වැනි දින වන විට එය රුපියල් බිලියන 1,020.8 ක අගයක් වාර්තා කළේය. ඒ අනුව සංචිත මුදල්වල වාර්ෂික ලක්ෂමය වර්ධනය සියයට 11.6 ක් වන අතර, එය ශ්‍රී ලංකා මහ බැංකුවේ පුරෝකථනය කරන ලද අගයට වඩා පහළ මට්ටමක පවතී.

Pages