ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි., 2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2018 ජූලි මාසයේ දී පැවැති සියයට 3.4 ට සාපේක්ෂව 2018 අගෝස්තු මාසයේ දී සියයට 2.5 ක් දක්වා පහළ ගියේය. මෙම පහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික පහළ යෑම හේතු විය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි දර්ශකයෙහි වෙනස 2018 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 5.1 සිට 2018 අගෝස්තු මාසයේ දී සියයට 4.7 දක්වා පහළ ගියේය. මාසික වෙනස්වීම සැලකූ විට, ජා.පා.මි. දර්ශකය 2018 ජූලි මාසයේ වාර්තා වූ දර්ශක අංක 126.6 සිට 2018 අගෝස්තු මාසයේ දී දර්ශක අංක 125.4 දක්වා පහළ යෑමට ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදු වූ පහළ යෑම ප්‍රධාන වශයෙන් හේතු වූ අතර විශේෂයෙන් එළවලු, පොල්, අමු මිරිස් සහ මාළු ඒ අතර විය.