Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

සීමිත අරමුණක් සඳහා කොන්දේසි පදනමින් ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනයේ ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මහජනතාවගේ සහ ආයතනයේ තැන්පත්කරුවන්ගේ යහපත සඳහා දැඩි කොන්දේසිවලට යටත් ව, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31(5)(අ) වන වගන්තිය ප්‍රකාර ව, සීමිත අරමුණක් සහ සීමිත කාලයක් සඳහා මුදල් මණ්ඩලය විසින් පත් කරන ලද කළමනාකරණ  මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ආයතනයේ පවත්නා ඉතිරි තැන්පතුවලින් සියයට 50ක ප්‍රමාණයක් ආපසු ගෙවීම (ආපසු ගෙවීමේ සැලැස්ම) සඳහා පමණක් 2021 ජනවාරි 13 සිට 2021 අප්‍රේල් 12 දක්වා වන තෙමසක සීමිත කාල සීමාවක් තුළ ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනයේ ව්‍යාපාර කටයුතු නාමික ව නැවත ආරම්භ කිරීමට තීරණය කළේ ය.

ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් - ගණන් බේරා වසා දැමීම සඳහා නිසි බලය ඇති අධිකරණයක් වෙත ඉල්ලුම් කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31(5)(ආ) වන වගන්තිය ප්‍රකාරව, ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය ගණන් බේරා වසා දැමීම සඳහා, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින්, නිසි බලය ඇති අධිකරණයක් වෙත ඉල්ලීමක් කිරීමට සැලැස්වීම සඳහා තීරණය කරන ලදී.

2011 වසරේ සිට පැවති විවිධ අක්‍රමිකතා සහ ඒ හේතුවෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වයන් මඟ හරවා ගැනීමට, ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය අපොහොසත් වීම හේතුවෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2018 ජනවාරි 02 දින ආයතනයේ අධ්‍යක්ෂවරුන් වෙත විධාන නිකුත් කළ අතර එම ආයතනයේ කටයුතු අධීක්ෂණය සඳහා කළමනාකරණ මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරන ලදී.

මූල්‍ය බුද්ධි ඒකකය 2020 වසරේ දී මූල්‍ය ආයතනවලට දණ්ඩන පනවයි

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නො වන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. මූල්‍ය ආයතන හෝ නම් කරන ලද මූල්‍ය නො වන ව්‍යාපාර විසින් සිදු කරන අදාළ අනුකූල නො වන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකි ය.

ඒ අනුව, රටේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2020 ජූනි 01 සිට 2020 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රුපියල් මිලියන 2.3ක දඩ මුදලක් පනවන ලදී. මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතන වෙත පනවනු ලෑබූ දණ්ඩන, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් මෙරට අනුකූලතා මට්ටම වැඩිදියුණු කිරීමේ අරමුණින් ප්‍රසිද්ධ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කළේ ය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කරයි

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2021 ජනවාරි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී.

ශ්‍රී ලංකාව තුල පවතින විදේශ සංචිත මට්ටම ආරක්ෂා කරගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග ඉදිරියටත්

රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීමේ අරමුණින් සහ කොවිඩ්-19 (Covid-19) වසංගත තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි ඇති විය හැකි සෘණාත්මක බලපෑම සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය මත පදනම් ව පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිත ව ගරු මුදල් අමාත්‍යවරයා විසින් 2020 ජූලි 2 දිනැති අංක 2182/37 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයෙහි පළ කරන ලද නියමයෙහි වලංගු කාලය 2021 ජනවාරි 2 දින සිට තවත් මාස හයක කාලයකින් දීර්ඝ කරමින් 2020 දෙසැම්බර් 18 දිනැති අංක 2206/25 දරන ගැසට් නිවේදනයේ පළ කරන ලද නියමය නිකුත් කරන ලදී.

පෙර දැක්ම 2021: 2021 සහ ඉදිරිය සඳහා මුදල් හා මූල්‍ය අංශ ප්‍රතිපත්ති

2020 වසර අප බොහෝ දෙනෙකු හැකි ඉක්මනින් අමතක කර දැමීමට කැමති වසරක් වනුයේ ප්‍රධාන වශයෙන් කොරෝනා වසංගතය මගින් ලොව පුරා මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි ඇති කරන ලද භයානක බලපෑම් හේතුවෙනි. අප දැනට අත්දකින මෙම කොවිඩ්-19 වසංගතය දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇති වූ අන් සෑම අභියෝගයකටම වඩා දරුණුතම ගෝලීය අර්බුදය යි. පසුගිය මාස දහයක පමණ කාලය තුළ අපට අසන්නට ලැබුණේ ඛේදවාචක, මරණ හා බිය ගෙනෙන තොරතුරු ය. අප ජීවිතවලට අතිමහත් කම්පන ගෙන දුන් අවස්ථා තිබූ අතර, නැවත සාමාන්‍ය තත්ත්වයට පැමිණීමට තවත් කොපමණ කලක් ගත වේදැයි අපි නොදනිමු. කෙසේ වෙතත්, අපට නව වසරක් උදා වී ඇති අතර, තත්ත්වය තරමක් ඉක්මනින් යහපත් අතට හැරෙනු ඇති බවට අපේක්ෂා මෙන්ම සැබෑ සාධක ද පෙනෙන්නට ඇත. 2020 වසරේ අප්‍රසන්න සිහිවටන පසෙක ලා ඉදිරියට යන අප, අනාගතය පිළිබඳව ධනාත්මකව සිතිය යුතු අතර, ඛේදවාචක පිලිබඳ අනාවැකි පළකරන්නන් කුමක් කීව ද සුභදායක හා අපේක්ෂා සහගත බවක් අප වටා ජනිත කිරීම වැදගත් ය.

Pages