Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2022 ජූනි

2022 ජුනි මාසයේ දී නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පහළ යන ලදී.

නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පෙර මාසයට සාපේක්ෂව පසුබෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 ජුනි මාසයේ දී පහළ යන ලදී.

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, අඛණ්ඩව තෙවන මාසයටත් සේවා ක්‍රියාකාරකම්වල පසුබෑමක් පෙන්නුම් කරමින්, 2022 ජූනි මාසයේ දී 40.3ක දර්ශක අගයක් දක්වා තවදුරටත් පහත වැටුණේය.

ශ්‍රී ලංකාව තුළ අතථ්‍ය මුදල් (Virtual Currency) භාවිතය පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීම

ජාත්‍යන්තර සහ දේශීය වෙළෙඳපොළ තුළ අතථ්‍ය මුදල් භාවිතය සම්බන්ධ මෑතකාලීන වර්ධනයන් මෙන්ම අතථ්‍ය මුදල් සම්බන්ධව කරන ලද විමසීම් සැලකිල්ලට ගනිමින් පහත සඳහන් කරුණු මහජනතාවට දැනුම් දීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

අතථ්‍ය මුදල් යනු පුද්ගලිකව නිකුත් කරනු ලබන සහ ඉලෙක්ට්‍රොනිකව හුවමාරු කළ හැකි බොහෝ දුරට නියාමනය කිරීමකට යටත් නොවන, වටිනාකම් ඩිජිටල් ආකාරයට නිරූපණය කිරීමක් වේ.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 මැයි

වෙළඳ හිඟයේ පහළ යෑම අඛණ්ඩව තෙවන මාසය දක්වාත් දීර්ඝ කරමින්, 2022 වසරේ මැයි මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත අපනයන ඉපැයීම් ඉහළ ගිය අතර ආනයන වියදම පහළ ගියේය. මේ අතර, 2022 වසරේ මැයි මාසයේ දී සංචාරක පැමිණීම් පෙර මාසයට සාපේක්ෂව මන්දගාමී විය. 2022 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව, 2022 වසරේ මැයි මාසයේ දී සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ ගියේය. 2022 වසරේ මැයි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඹ කොටස් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ලැබීම් වාර්තා විය. දේශීය විදේශ විනිමය වෙළඳපොළ මත වූ ද්‍රවශීලතා පීඩනය සැලකිල්ලට ගනිමින්, මහ බැංකුව විසින් 2022 වසරේ මැයි මාසයේ දී යම් ආනයන මත මුදල් ආන්තික අවශ්‍යතා පනවන ලද අතර රජය විසින් විවෘත ගිණුම් සහ භාණ්ඩ විකිණීමෙන් පසු මුදල් ගෙවීමේ පදනම මත සිදුකල ආනයන මත සීමා පැනවීම වැනි අනෙකුත් ක්‍රියාමාර්ග හඳුන්වා දෙන ලදී. මෙම පියවර මඟින් අවිධිමත් විදේශ විනිමය වෙළඳපොළ ක්‍රියාකාරකම් සීමා කිරීමටත් නිල සහ අවිධිමත් වෙළඳපොළ විනිමය අනුපාතික අතර පරතරය අඩු කිරීමටත් බලාපොරොත්තු විය. මේ අතර, අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය මාසය තුළ දී එ.ජ. ඩොලරයට රුපියල් 359ක් ලෙස ස්ථාවරව පැවති අතර, මේ සඳහා දේශීය විදේශ විනිමය වෙළඳපොළේ පීඩනය කළමනාකරණය කිරීම සඳහා හඳුන්වා දුන් ක්‍රියාමාර්ග සහ වෙළඳපොළ මාර්ගෝපදේශ උපකාරී විය.

විදේශ ව්‍යවහාර මුදල් වල හිමිකාරීත්වය පිළිබඳව නිකුත් කර ඇති නියමය බලපැවැත්වෙන කාල සීමාව දීර්ඝ කිරීම

ශ්‍රී ලංකාව තුළ සිටින හෝ නේවාසික පුද්ගලයන් සන්තකයේ පවතින විදේශ ව්‍යවහාර මුදල් බලයලත් වෙ‍ෙළන්දකු (බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුව) වෙත තැන්පත් කිරීම හෝ විකිණීම සඳහා ප්‍රදානය කරන ලද පොදු සමාකාලය 2022.07.26 දින දක්වා, තවත් වැඩකරන දින 14 ක කාලයක් සඳහා දීර්ඝ කරමින් මුදල් අමාත්‍යවරයා විසින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 8 වැනි වගන්තිය යටතේ නියමයන් නිකුත් කර ඇත.

වැඩිදුර විස්තර සඳහා 2022.07.05 දිනැති අංක 2287/16 දරන අති විශෙෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද විදේශ විනිමය පනතේ 8 වැනි වගන්තිය යටතේ වන නියමය www.dfe.lk හරහා බාගත කිරීමෙන්/ පිවිසීමෙන් පරිශීලනය කළ හැක.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් දැඩි කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 ජූලි මස 06 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100කින්, පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 දක්වා ඉහළ නැංවීමට තීරණය කළේය. මෑත කාලීනව මතුපිට උද්ධමනය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ඉහළ යෑම සහ ඉදිරි කාලයේදී අඛණ්ඩව ඉහළ උද්ධමනයක් පැවතීම පිළිබඳව අවධානය යොමු කරමින් අහිතකර උද්ධමන අපේක්ෂා ගොඩ නැගීම පාලනය කිරීම සඳහා තවදුරටත් මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමට අවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස විය. මෙම තීරණයට එළඹීමේදී මුදල් මණ්ඩලය විසින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුළු සමස්ත ආර්ථික ක්‍රියාකාරකම් සහ මූල්‍ය අංශයේ ක්‍රියාකාරිත්වය යනාදිය කෙරෙහි දැඩි මුදල් තත්ත්වයන් මගින් වන බලපෑම සහ නුදුරු කාලීනව ආර්ථිකයේ සියලුම අංශ කෙරෙහි මිල පීඩන ඉහළ යෑම හේතුවෙන්  සිදුවිය හැකි අහිතකර බලපෑම් සලකා බලන ලදී. ඒ අනුව, මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීම මගින් ආර්ථිකයේ යටිදැරි ඉල්ලුම් පීඩන ගොඩ නැගීම සීමා කරන අතරම මැදි කාලීනව ඉලක්කගත මතුපිට උද්ධමන මට්ටම ආසන්නයේ උද්ධමන අපේක්ෂා පාලනය කිරීමට උපකාරී වනු ඇතැයි මුදල් මණ්ඩලයේ අදහස විය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කිරීම

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2022 ජූලි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී.

Pages