Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳ ව මහ බැංකුවේ පැහැදිලි කිරීම

2024-2026 කාලපරිච්ඡේදයට අදාළ ව වෘත්තීය සංගම් සමග එළඹුණු ත්‍රෛවාර්ෂික සාමූහික ගිවිසුම යටතේ පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන්ගේ අවසන් වරට සිදු කළ වැටුප් සංශෝධනය පිළිබඳ ව ඇතැම් පාර්ලිමේන්තු සාමාජිකයන් විසින් පසු ගිය දින කිහිපයේ දී පාර්ලිමේන්තු සභාවාරයන්හි දී දක්වන ලද අදහස් සහ ප්‍රකාශ පිළිබඳ ව මාධ්‍යයන්හි විවිධ පුවත් පළ වී ඇති අයුරු ශ්‍රී ලංකා මහ බැංකුව නිරීක්ෂණය කර ඇත.

ඉඩම් තක්සේරු දර්ශකය - 2023 වසරේ දෙවන භාගය

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2023 වසරේ දෙවන භාගයේ දී සියයට 7.1 ක සාපේක්ෂව අඩු වාර්ෂික වර්ධන වේගයක් වාර්තා කරන ලදී. සමස්ත ඉඩම් තක්සේරු දර්ශකයෙහි දක්නට ලැබුණු මෙම මන්දගාමීත්වය නේවාසික, වාණිජ හා කාර්මික යන එහි අනු දර්ශක තුනෙහි ම දක්නට ලැබුණු අතර එම දර්ශක පිළිවෙලින් සියයට 8.8, 6.7 සහ 5.9ක වර්ධනයන් වාර්තා කරන ලදී. අර්ධ වාර්ෂික පදනමින් ද මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කරමින් ඉඩම් තක්සේරු දර්ශකය 2023 වසරේ පළමු භාගයට සාපේක්ෂව දෙවන භාගයේ දී සියයට 2.1 ක සුළු වර්ධනයක් වාර්තා කරන ලදී. මේ සඳහා 2023 වසරේ පළමු භාගයට සාපේක්ෂව දෙවන භාගයේ දී කාර්මික අනු දර්ශකය අඩු වේගයකින් වර්ධනය වීම ප්‍රධාන වශයෙන් බලපෑ අතර වාණිජ හා නේවාසික අනු දර්ශකවල අඩු වර්ධනය ද තවදුරටත් හේතු විය.

මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2023 සැප්තැම්බර් මස 27 වන දින සිට දෙසැම්බර් මස 31 වන දින දක්වා වූ කාලපරිච්ඡේදය තුළ මූල්‍ය ආයතන සඳහා පරිපාලනමය දණ්ඩන පැනවීම

2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධාන වලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සදහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. අදාල අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බරපතලකම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කල හැකිය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාවය බලාත්මක කිරීම සදහා 2023 සැප්තැම්බර් මස 27 වන දින සිට දෙසැම්බර් මස 31 වන දින දක්වා වූ කාලපරිච්ඡේදය තුළ පහත දක්වා ඇති පරිදි එකතු කරගන්නා ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන 14 කි. එලෙස දණ්ඩන මගින් එකතු කරගන්නා ලද මුදල ඒකාබද්ධ අරමුදලට බැර කරන ලදී.

ශ්‍රී ලංකාවේ මූල්‍ය බුද්ධි ඒකකය ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹෙයි

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව, මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ඒ ආශ්‍රිත අපරාධ පිළිබඳ විමර්ශන සහ නඩු පැවරීම් සම්බන්ධ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය 2024 ජනවාරි 09 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ඉදිරියේ දී සුරාබදු කොමසාරිස් ජනරාල් ජේ. එම්. එස්. එන්. ජයසිංහ මහතා සහ මූල්‍ය බුද්ධි ඒකකයේ එවකට අධ්‍යක්ෂ ඊ. එච්. මොහොට්ටි  මහත්මිය අදාළ ආයතන වෙනුවෙන් අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.

ශ්‍රී ලංකා මහ බැංකුව 2024 පෙබරවාරි මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරයි

2023 අංක 16 දරන මහ බැංකු පනතෙහි දක්වා ඇති අවශ්‍යතාවන්ට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව 2024 පෙබරවාරි මාසය සඳහා මුදල් ප්‍රතිපත්ති වාර්තාව අද දින (2024.02.15) ප්‍රකාශයට පත් කළේය. මෙම වාර්තාවේ අන්තර්ගතය, ප්‍රධාන වශයෙන් ම 2024 ජනවාරි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචන වටයට අදාළ තීරණ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබූ තොරතුරු මත පදනම් වේ.

විශේෂයෙන් ම, ආර්ථික වර්ධනය සහ උද්ධමනයට අදාළ ව ඉදිරි දැක්මක් සැපයීම සඳහා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන දෙවන මුදල් ප්‍රතිපත්ති වාර්තාව මෙය වේ. දේශීය සහ ගෝලීය වශයෙන් දැනට පවතින මෙන්ම අපේක්ෂිත ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, උද්ධමන සහ ආර්ථික  වර්ධන පුරෝකථන සඳහා පවතින අවදානම් පිළිබඳව ඇගයීමක් ඉදිරිපත් කිරීම ද මෙම වාර්තාවෙන් අපේක්ෂා කරයි. මෙම වාර්තාව මගින් මෑත කාලීන මුදල් ප්‍රතිපත්ති තීරණ සඳහා මූලික  වූ  පසුබිම  සන්නිවේදනය කිරීම තුළින් මහ බැංකුවේ විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීමට මහ බැංකුව  ප්‍රයත්න දරයි.

සම්පූර්ණ ලිපිය

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (නිෂ්පාදන සහ සේවා) - 2024 ජනවාරි

2024 ජනවාරි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා යාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි

නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 ජනවාරි මාසයේ දී දර්ශකාංක 55.6ක් වාර්තා කරන ලදී.  මෙම වර්ධනය සඳහා සියලුම  උප-දර්ශකයන්ගේ දක්නට ලැබුණු ඉහළ යෑම හේතු විය.

සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන ව්‍යාපාර ක්‍රියාකාරකම් දර්ශකය 2024 ජනවාරි මාසයේ දී දර්ශකාංක 60.1ක් වාර්තා කළ අතර, එමගින් සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කළේය

Pages