Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව, 2024 අප්‍රේල් 29 වන දින කොළඹ දී පැවති මූල්‍ය ස්ථායීතා මණ්ඩලයෙහි ආසියා කලාපීය උපදේශක කණ්ඩායම් රැස්වීමේ සත්කාරකත්වය දැරීය

මූල්‍ය ස්ථායීතා මණ්ඩල (FSB)  ආසියා කලාපීය උපදේශක කණ්ඩායම (RCG Asia) 2024 අප්‍රේල් 29 දින කොළඹ දී රැස් විය. මෙම සාකච්ඡාවේදී සමීපව අධීක්ෂණය කළ යුතු වූ මෑත කාලීන මූල්‍ය වෙළඳපොළ ප්‍රවණතා සහ දුර්වලතා පිළිබඳව අවධානය යොමු විය. ඒ අනුව, කලාපය පුරා අතත්‍ය (crypto) වත්කම් සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා මූල්‍ය ස්ථායීතා මණ්ඩලයෙහි නියාමන රාමුව ක්‍රියාවට නැංවීම ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම පිළිබඳ  මෙන්ම කෘතිම බුද්ධිය හා සම්බන්ධ මෑත කාලීන වර්ධනයන්, මූල්‍ය අංශය තුළ එහි භාවිතයන්  සහ මූල්‍ය ස්ථායීතාව සඳහා ඇති බලපෑම් පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කරන ලදී. තවද, දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන මූල්‍ය අවදානම්වලට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් කලාපය තුළ සිදුවෙමින් පවතින ප්‍රගතිය සාමාජිකයින් විසින් මෙහි දී සමාලෝචනය කරන ලද අතර, විදේශ ගෙවීම් ක්‍රම වැඩි දියුණු කිරීමේ ප්‍රගතිය සහ ඒවා ඉහළ විනිවිදභාවයක් සහ අන්තර්ගතභාවයක් සහිතව වේගවත් සහ ලාභදායී ලෙස සිදු කිරීමේ දී ඇති ප්‍රධාන අභියෝග පිළිබඳව ද සාකච්ඡා කරන ලදී. 

ශ්‍රී ලංකා මහ බැංකුව සිය පළමු වාර්ෂික ආර්ථික විවරණය - 2023 හා මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් - 2023 ප්‍රකාශයට පත් කරයි

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතෙහි 80 වැනි වගන්තිය යටතේ පළමු ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික විවරණය 2023, සහ ශ්‍රී ලංකා මහ බැංකු පනතෙහි 99 වැනි වගන්තිය යටතේ පළමු ප්‍රකාශනය වන මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2023,  ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් ගරු ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය, රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත අද දින (2024 අප්‍රේල් 25) පිළිගන්වන ලදී.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (නිෂ්පාදන සහ සේවා) - 2024 මාර්තු

2024 මාර්තු මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 මාර්තු  මාසයේ දී දර්ශකාංක 62.5ක් වාර්තා කරන ලදී. මෙම දර්ශකය වසර තුනකින් වාර්තා කළ ඉහළම අගය මෙය වේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් උත්සව සමයේ ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් සියලුම උප දර්ශක පෙර මාසය හා සැසඳීමේදී ඉහළ යෑම හේතු විය.

නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යෑම සඳහා ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශය සහ රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදන අංශය ප්‍රධාන වශයෙන් දායක විය. විශේෂයෙන් ආහාර සහ පාන වර්ග නිෂ්පාදනය කරන්නන් ඇතුළුව බොහෝ නිෂ්පාදකයින් එළඹෙන උත්සව සමය පිළිබඳව සුභවාදී අදහස් පල කරන ලදී. මේ අතර, නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යෑම හා සමගාමීව සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම් ද ඉහළ යන ලදී. තවද, මිල මට්ටම්වල පහත වැටීමක් ද වාර්තා  විය. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය පෙර මාසයට සාපේක්ෂව මාර්තු මාසයේ දී අඩු වේගයකින් වුවද ඉහළ යන ලදී.

පවත්වා ගෙන යා හැකි ව්‍යාපාරවලට ශක්තියක් වීම සඳහා බලපත්‍රලාභී බැංකු තුළ ව්‍යාපාර යළි පණගැන්වීමේ ඒකක පිහිටුවීමට මහ බැංකුව මාර්ගෝපදේශ නිකුත් කරයි

දැනටමත් පිහිටුවා ඇති පශ්චාත් කොවිඩ්-19 යළි පණගැන්වීමේ ඒකකවල ක්‍රියාකාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සහ එම ඒකක, ව්‍යාපාර යළි පණගැන්වීමේ ඒකක ලෙස වැඩිදියුණු කරලීම උදෙසා, 2024 මාර්තු 28 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු වෙත පුළුල් මාර්ගෝපදේශ නිකුත් කරන ලදී. යෝජිත ව්‍යාපාර යළි පණගැන්වීමේ ඒකකවල වැඩි දියුණු කළ විෂය පථය මගින්, බලාපොරොත්තු නොවූ සාර්ව ආර්ථික තත්ත්වයන් හමුවේ බලපෑමට ලක් වූ, එනමුත් පවත්වා ගෙන යෑමට හැකියාව ඇති ව්‍යාපාර තිරසර ලෙස යළි නඟා සිටුවීමට පහසුකම් සැලසෙන අතර බලපත්‍රලාභී බැංකුවල ඉහළ ගිය අක්‍රීය ණය නිසි ලෙස හැසිරවීම ට සහාය වෙයි. මෙම මාර්ගෝපදේශ සකස් කිරීමේ දී මහ බැංකුව විසින් බැංකු ක්ෂේත්‍රය, වාණිජ මණ්ඩලය ඇතුළු අදාළ පාර්ශ්වකරුවන්ගේ අදහස් සලකා බලන ලදී.

කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2024 මාර්තු මාසයේ දී තියුණු ලෙස පහළ ගියේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 පෙබරවාරි මාසයේ වාර්තා වූ සියයට 5.9හි සිට 2024 මාර්තු මාසයේ දී සියයට 0.9 දක්වා තියුණු ලෙස පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ.

ආහාර නොවන කාණ්ඩය 2024 පෙබරවාරි මාසයේ වාර්තා කළ සියයට 7.0ක වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනයට සාපේක්ෂව 2024 මාර්තු මාසයේ දී සියයට 0.5ක අවධමනයක් වාර්තා කළේය. කෙසේ වුවද, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ පැවති සියයට 3.5හි සිට 2024 මාර්තු මාසයේ දී සියයට 3.8 දක්වා ඉහළ ගියේය. ආහාර කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට 0.66ක මිල පහළ යෑම් සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට 1.28ක මිල පහළ යෑම් හේතුවෙන් 2024 මාර්තු මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික වෙනස සියයට -1.94ක් ලෙස වාර්තා විය. තවද, ආර්ථිකයේ යටිදැරි උද්ධමන ප්‍රවණතා පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2024 පෙබරවාරි මාසයේ පැවති සියයට 2.8හි සිට 2024 මාර්තු මාසයේ දී සියයට 3.1 දක්වා ඉහළ ගියේය.

ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2024 පෙබරවාරි

ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2024 පෙබරවාරි මාසයේ දී දර්ශකාංක 57.1ක් වාර්තා කළ අතර, එමගින් ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. මෙම වර්ධනය සඳහා ඉදිකිරීම් කටයුතු සඳහා පවතින හිතකර වාතාවරණය සහ තාවකාලිකව අත්හිටුවා තිබූ ඇතැම් ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම හේතු වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ ආයතන සඳහන් කරන ලදී. 

Pages