Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා වන ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන දියත් කරයි

“ඩිජිටල් ගනුදෙනු තුලින් අනාගතය හැඩගන්වමු” යන තේමාව යටතේ 2025 වසර සඳහා වන ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් 2025 ජනවාරි 9 වන දින හම්බන්තොට මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතා, බැංකු, මූල්‍ය ආයතන සහ විදුලි සංදේශ සේවා සපයන්නන්ගේ සහාය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ මහජනතාව විශාල පිරිසක් සහභාගී වූහ.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කිරීම

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2025 ජනවාරි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී.

කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේ දී ද ඍණ අගයක් වාර්තා කළේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව, අඛණ්ඩව සිව්වන මාසයටත් ඍණ අගයක පවතිමින් 2024 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 2.1ක අවධමනයට සාපේක්ෂව 2024 දෙසැම්බර් මාසයේ දී සියයට 1.7ක අවධමනයක් වාර්තා කළේය.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2024 නොවැම්බර්

සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඉහළ යෑමේ සහායෙන් 2024 වසරේ නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශීය අංශය තවදුරටත් අඛණ්ඩව ශක්තිමත් විය.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (ඉදිකිරීම්) - 2024 නොවැම්බර්

ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2024 නොවැම්බර් මාසයේදී සුළු වේගයකින් වුවද වර්ධනයක් පිළිබිඹු කරමින් දර්ශකාංක 51.4ක් ලෙස වාර්තා විය. මෙම මාසය තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිය සැලසුම් කළ වැඩ කටයුතු වලට යම් බාධා සිදු වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කළහ.

විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අනුව නව LKR භාණ්ඩාගාර බැඳුම්කර අටක් (8) මගින් දේශීය බැඳුම්කර විකල්පය යටතේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හුවමාරුව සිදුකිරීම

2024 නොවැම්බර් 25 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හුවමාරුව සඳහා වූ ආරාධනා පත්‍රය ("ආරාධනා සංදේශය") මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර 2024 දෙසැම්බර් 16 දින හුවමාරුව සඳහා කැමැත්ත තහවුරු කිරිමෙහි අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන ලදී. (මෙහි භාවිතා කර ඇති යෙදුම් වෙනත් ආකාරයකින් නිර්වචනය කර නොමැති අවස්ථා වලදී ආරාධනා පත්‍රයේ එවැනි නියමයන් සඳහා අර්ථ දක්වා ඇති පරිදි වේ).

Pages