Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

බලපත්‍රලාභී බැංකුවල රුපියල් තැන්පතු සඳහා බලපාන උපරිම පොලී අනුපාත පිළිබඳ මුදල් නීති පනත් නියෝගය අවලංගු කරයි

මෑතකාලීන ව ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණවල බලපෑම, වෙළෙඳපොළ ණය පොලී අනුපාත වෙත කාර්යක්ෂම ව සම්ප්‍රේෂණය වීම වර්ධනය කිරීම සඳහා රුපියල් ණය සඳහා අය කරනු ලබන පොලී  අනුපාත පහත දමන ලෙස දැනුම් දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු වෙත නිකුත් කල විධානයට සමගාමී ව, 2019 අප්‍රේල් 26 වන දින නිකුත් කරන ලද ශ්‍රී ලංකා රුපියල් තැන්පතු සඳහා වන උපරිම පොලී අනුපාත පිළිබඳ 2019 අංක 01 දරන මුදල් නීති පනත් නියෝගය 2019 සැප්තැම්බර් 24 වන දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

පලාත් දළ දේශීය නිෂ්පාදිතය - 2018

ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් 2018 වසර සඳහා ඇස්තමේන්තු කර ඇති පලාත් දළ දේශීය නිෂ්පාදිත අගයන්ට අනුව බස්නාහිර පළාත රටේ ආර්ථිකයට අඛණ්ඩ ව ඉහළ ම දායකත්වය ලබා දෙන පලාත බව, පෙනී යයි. දෙවන සහ තෙවන ඉහළ ම දායකත්ව පිළිවෙලින් මධ්‍යම සහ වයඹ පළාත් විසින් ලබා දෙන ලදී.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පලාත් දළ දේශීය නිෂ්පාදිත දායකත්වයේ ඉහළ ම වර්ධනය බස්නාහිර පලාතෙන් වාර්තා විය. මීට අමතර ව, පලාත් දළ දේශීය නිෂ්පාදිත දායකත්වයේ වර්ධනයක් වාර්තා වූයේ උතුරු මැද පලාතෙන් පමණි. 2018 වර්ෂයේ දී මධ්‍යම, සබරගමුව සහ ඌව පලාත්වල දායකත්වයේ අඩු වීමක් පෙන්නුම් කළ අතර වයඹ, දකුණු, නැගෙනහිර සහ උතුරු යන පලාත්වල දායකත්වයේ කිසිදු වෙනස් වීමක් වාර්තා නොවිණි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුමේ හය වැනි සමාලෝචනය පිළිබඳ නිලධාරී මට්ටමේ එකඟතාවකට එළඹෙයි

මෙම ප්‍රකාශනයේ අඩංගු අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ගේ මතය වන අතර, එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ මතය අත්‍යවශ්‍යයෙන් පිළිබිඹු නො වේ. මේ දක්වා නිරීක්ෂණය කොට ඇති කරුණු පදනම් කර ගෙන, කළමනාකාරිත්වයේ අනුමැතියට යටත් ව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් විසින් වාර්තාවක් පිළියෙළ කරනු ලබන අතර, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡා කිරීමටත්, තීරණ ගැනීම සඳහාත් ඉදිරිපත් කෙරේ.

මෑත කාලීන ප්‍රතිපත්ති තීරණ වෙළෙඳපොළ ණය පොලී අනුපාතික වෙත සම්ප්‍රේෂණය වීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කරයි

වෙළෙඳපොළ ණය පොලී අනුපාතිකවල පහළ යෑමක් ඇති කරවීම සඳහා පසුගිය මාස එකොළහක කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් හා නියාමන ප්‍රතිපත්ති ගණනාවක් ගෙන ඇත. මෙම ක්‍රියාමාර්ග අතරට, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය  (SLFR) පදනම් අංක 100කින් පියවර දෙකකින් අඩු කිරීම, බලපත්‍රලාභී වාණිජ බැංකුවල රුපියල් තැන්පතු වගකීම්වලට අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ප්‍රතිශතාංක 2.50කින් පහත දමමින් ඒ හරහා මූල්‍ය වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 150ක පමණ අතිරික්ත ද්‍රවශීලතාවක් සැපයීම සහ බලපත්‍රලාභී මූල්‍ය ආයතන මගින් පිරිනමනු ලබන රුපියල් තැන්පතු පොලී අනුපාතික මත සීමා පැනවීම මගින් එම ආයතනවල මහජන අරමුදල් රැස් කිරීමේ පිරිවැය පහළ දැමීම යනාදිය ඇතුළත් වේ. 

2019 අගෝස්තු මාසයේ දී උද්ධමනය ඉහළ යයි

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 ජූලි මාසයේ පැවති සියයට 2.2 හි සිට 2019 අගෝස්තු මාසයේ දී සියයට 3.4 දක්වා ඉහළ ගියේ ය. පෙර වසරේ අනුරූප මාසයේ පැවති ඉහළ පදනම් අගය සහ ආහාර හා ආහාර නො වන යන කාණ්ඩ දෙකෙහි ම අයිතමයන්හි මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා දායක විය. මේ අතර, 2019 අගෝස්තු මාසයේ දී, ආහාර සහ ආහාර නො වන යන කාණ්ඩ දෙකෙහි ම ලක්ෂ්‍යමය උද්ධමන අගයන් පිළිවෙලින් සියයට 0.6 සහ සියයට 5.9 ක් ලෙස වාර්තා විය.

"ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2019" ප්‍රකාශනය නිකුත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ, "ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත-2019" වාර්ෂික ප්‍රකාශනයේ 42 වෙනි වෙළුම පොදු මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. පහසුවෙන් ගෙන යා හැකි අයුරින් සකස් කොට ඇති මෙම ප්‍රකාශනයෙහි අංශ 14 ක් යටතේ, එනම්, ශ්‍රී ලංකාවේ මූලික තොරතුරු, මූලික ආර්ථික දර්ශක, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ශ්‍රී ලංකාවේ තත්ත්වය, සමාජ ආර්ථික තත්ත්වයන්, මානව සම්පත් තොරතුරු, ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ආර්ථික හා සමාජ යටිතල පහසුකම්, මිල සහ වැටුප්, විදේශ වෙළඳාම සහ සංචාරක කර්මාන්තය, විදේශ මූල්‍ය, රාජ්‍ය මූල්‍ය කටයුතු, මූල්‍ය හා බැංකු  යන අංශයන්ගේ නවතම දත්ත ඇතුළත් වේ.කාලීන වැදගත්කමකින් යුතු, පුළුල් පරාසයක් ආවරණය වන සමාජ ආර්ථික දත්ත මෙම ප්‍රකාශනයේ සාරාංශ කර ඇති බැවින්, එය ප්‍රතිපත්ති සම්පාදකයන්ට, පර්යේෂකයන්ට, ශාස්ත්‍රලාභීන්ට, වෘත්තිකයන්ට, සිසුන්ට හා සාමාන්‍ය ජනතාවට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

Pages