Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2019 අගෝස්තු

2019 අගෝස්තු මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් තවදුරටත් වැඩි වේගයකින් වර්ධනය විය. ඒ අනුව, 2019 ජූලි මාසයට සාපේක්ෂව දර්ශකාංක 0.9කින් ඉහළ යමින් 2019 අගෝස්තු මාසයේ දර්ශක අගය 56.6 ක් ලෙස වාර්තා කරන ලදී. විශේෂයෙන්ම, එළඹෙන උත්සව සමයට සමගාමීව ඇතිවන ඉල්ලුම සපුරාලීම සඳහා,ආහාර හා පාන වර්ග සහ රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයන්හි, නිෂ්පාදන සහ නව ඇණවුම් වල සිදුවූ ඉහළ යෑම, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ මෙම වර්ධනය කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර, සේවා නියුක්ති උප දර්ශකය අඩු වේගයකින් ඉහළ යෑම සඳහා, විශේෂයෙන්ම ආහාර හා පාන වර්ග අංශයෙහි සේවා නියුක්තිය ඉහළ යෑම බලපාන ලදී. එනමුදු, රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයෙහි බොහෝමයක් ප්‍රතිචාර දක්වන්නන් විසින් ශ්‍රම වෙළඳපොළෙහි හිඟතාවයක් පවතින බව ඉස්මතු කරන ලදී.

සම්පූර්ණ ලිපිය

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් තබයි

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව 2019 අගෝස්තු 28 වන දින ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය,සහාධිපත්‍ය  කළමනාකරණ අධිකාරිය සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සමඟ ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී අවබෝධතා ගිවිසුම් වලට එළැඹිණි.

සහාධිපත්‍ය සංවර්ධකයින් සහ ශ්‍රී ලංකාවේ බලපත්‍රලත් මැණික් හා ස්වර්ණාභරණ අලෙවිකරුවන් සම්බන්ධයෙන් ඇති මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ / ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නීතිමය බැඳීම් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා තොරතුරු සැපයීම මෙන්ම ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙතින් අපේක්ෂා කරන සහයෝගය නිර්ණය කිරීම මෙහි පරමාර්ථය විය.

ඉඩම් මිල දර්ශකය - 2019 වසරේ පළමු භාගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරමින් අර්ධ වාර්ෂිකව ගණනය කරනු ලබන ඉඩම් මිල දර්ශකය, 2019 වසරේ පළමු භාගය සඳහා 132.2 ක අගයක් වාර්තා කරන ලද අතර, එය 2018 වසරේ පළමු භාගයේ වාර්තා වූ අගයට සාපේක්ෂව සියයට 13.6 ක වර්ධනයකි. ඉඩම් මිල දර්ශකයේ නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනෙහිම ඉහළ යාම මෙම වර්ධනය සඳහා හේතු විය.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත අනු දර්ශකයන්හි වැඩිම ඉහළ යාම කාර්මික ඉඩම් මිල අනු දර්ශකය මගින් වාර්තා වූ අතර එය සියයට 14.9 ක් විය. වාණිජ ඉඩම් මිල අනු දර්ශකයෙහි සහ නේවාසික ඉඩම් මිල අනු දර්ශකයෙහි ඉහළ යාම් පිළිවෙලින් සියයට 13.2 ක් හා සියයට 12.8 ක් විය. මේ අතර, ඉඩම් මිල දර්ශකය 2018 වසරේ දෙවන භාගයට සාපේක්ෂව 2019 වසරේ පළමු භාගයේ දී සියයට 5.1 කින් ඉහළ යන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල්  මණ්ඩලය, 2019 අගෝස්තු 22 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.00 සහ සියයට 8.00 දක්වා පදනම් අංක 50කින් අඩු කිරීමට තීරණය කළේ ය. පවතින අඩු උද්ධමනය සහ මැදි කාලීන ව අපේක්ෂිත සියයට 4-6 පරාසය තුළ මනාව පාලනය වී ඇති උද්ධමන අපේක්ෂා සහිත වාතාවරණයක් තුළ ආර්ථික ක්‍රියාකාරකම් නඟා සිටුවීම සඳහා තවදුරටත් සහාය සැලසීමේ අරමුණ ඇතිව, දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, මූල්‍ය වෙළඳපොළේ මෙන් ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතා මනාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගනු ලැබී ය.

2019 ජූලි මාසයේ දී උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනයආහාර සහ ආහාර නො වන යන කාණ්ඩ දෙකෙහිම අයිතමයන්හි මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් හේතුවෙන්, 2019 ජුනි මාසයේ පැවති සියයට 2.1 හි සිට 2019 ජූලි මාසයේ දී සියයට 2.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය. මේ අතර, 2019 ජූලි මාසයේ දී, ආහාර සහ ආහාර නො වන යන කාණ්ඩ දෙකෙහිම ලක්ෂ්‍යමය උද්ධමන අගයන් පිළිවෙලින් සියයට -2.5 සහ සියයට 6.1 ක් ලෙස වාර්තා විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි දේශමාන්‍ය සම්මානයෙන් පිදුම් ලබයි

ජාතික සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019 අගෝස්තු 19 වන දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. මාතෘ භූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් වෙත සම්මාන පිරිනැමීම  මෙහි දී  සිදු විය.

එම උත්සවයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඇතුළු විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් හය දෙනෙක් “දේශමාන්‍ය” සම්මානයෙන් පිදුම් ලැබූහ.

“දේශමාන්‍ය” යනු ජාතිය උදෙසා කරන ලද අතිවිශිෂ්ට වූත්, ප්‍රශංසනීය වූත් සේවයට උපහාර වශයෙන් ශ්‍රී ලංකා රජය විසින් සිවිල්  පුරවැසියන් වෙත පුද කෙරෙන දෙ වන උසස් ම සම්මානයයි.

Pages