Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

2019 ඔක්තෝබර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

ආනයන වියදම අඩු වීම සහ අපනයන ආදායමේ සුළු අඩු වීම සමඟ 2019 ඔක්තෝබර් මාසයේ දී වෙළෙඳ හිඟය පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදයට  සාපේක්ෂ ව අඩු විය. සමුච්චිත ආනයන වියදමේ සැලකිය යුතු අඩු වීම සමඟ අපනයන ආදායමේ සමුච්චිත වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස 2018 වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 2019 වසරේ පළමු මාස දහය තුළ දී වෙළෙඳ හිඟය අඩු විය. මේ අතර, සංචාරක පැමිණීම්වල පහත වැටීම 2019 ඔක්තෝබර් මාසයේ දී තවදුරටත් සීමා විය. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සමුච්චිත වශයෙන් අඩු වීමක් වාර්තා කළ ද 2019 ඔක්තෝබර් මාසයේ දී පෙර වසරේ අනුරූප කාලයට සාපේක්ෂ ව වර්ධනය විය. 2019 ඔක්තෝබර් මාසයේ දී මූල්‍ය ගිණුම තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ විදේශීය ආයෝජන ශුද්ධ ගෙවීමක්  වාර්තා කළ අතර, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත සුළු ශුද්ධ ලැබීමක් වාර්තා විය. ඔක්තෝබර් මාසය තුළ දී විනිමය අනුපාතිකය මිශ්‍ර හැසිරීමක් වාර්තා කළ අතර වසරේ මේ දක්වා කාලය තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ව අතිප්‍රමාණය වී පැවතුණි. 

ශ්‍රී ලංකා මහ බැංකුව සිය දොළොස්වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව පවත්වයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්ෂික ව පවත්වනු ලබන එහි ප්‍රධාන සමුළුවක් වන දොළොස් වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2019 වසරේ දෙසැම්බර් මස 09 වැනි දින ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීය. මෙම සමුළුව විවිධ විෂය පරාසයන්ට අයත් පර්යේෂකයන් සඳහා තම අදහස් සහ අත්දැකීම් ඉදිරිපත් කිරීම සඳහා සංසදයක් සකස් කර දෙන අතර ම, මෑත කාලීන විවිධ සාර්ව ආර්ථික ප්‍රතිපත්තිමය ගැටලු පිළිබඳ ප්‍රායෝගික සහ සෛද්ධාන්තික පර්යේෂණ සිදු කිරීම දිරි ගැන්වීම අරමුණු කර ගනිමින් පවත්වනු ලබයි.

මුදල් ණයට දී‍ම පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීමයි

මුදල් ණයට දීම සඳහා විද්‍යුත්, මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍ය ඇතුළු නොයෙක් මාධ්‍ය හරහා වෙළෙඳ දැන්වීම් සහ වෙනත් ආකාරයේ ප්‍රචාරණයන් සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරීක්ෂණය කර ඇත. ඒ සම්බන්ධ ව සිදු වන යම් යම් අක්‍රමිකතා පිළිබඳ ව ද අප වෙත පැමිණිලි ලැබී ඇත. වංචා පිළිබඳ චෝදනා, ඉහළ පොළී අනුපාත අය කිරීම, ගනුදෙනුකරුවන්‍ට මුහුණ දීම‍ට සිදු වන හිරිහැර සහ එවැනි මුදල් ණයට දෙන පුද්ගලයින් විසින් ගනුදෙනුකරුවන්ගේ රහස්‍ය තොරතුරු අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි ඒ අතර වේ. සුරැකුමක් සහිත ව හෝ රහිත ව මුදල් පොළියට දීම සිදු කරන හෝ ප්‍රචාරය කරන හෝ නිවේදනය කරන යම් පුද්ගලයෙකු මුදල් ණයට දෙන්නෙකු ලෙස විස්තර කළ හැක. 

විවිධ ක්‍රමවේදයන් යටතේ මහජනයාගෙන් මුදල් තැන්පතු බාර ගැනීම

විවිධ ආයතන විසින් නොයෙකුත් ක්‍රමවේදයන් යටතේ මහජනයාගෙන් මුදල් තැන්පතු භාර ගැනීමේ කාර්යයෙහි යෙදෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට යොමු වී ඇත. මෙවැනි සමහර ක්‍රමවේදයන් ලෙස පොරොන්දු නෝට්ටු, වාණිජ පත්‍ර සහ ණයකර නිකුත් කිරීම මගින් මුදල් එක් රැස් කිරීම සඳහන් කළ හැක. මෙවැනි මූල්‍ය උපකරණ වඩාත් ආකර්ශණීය වීම සඳහා ඉහළ ප්‍රතිලාභ පිරිනැමීම ද දැකිය හැකි ලක්ෂණයකි. තම ව්‍යාපාරික කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා මෙවැනි මාර්ගවලින් මුදල් එක් රැස් කිරීම සිදු වුව ද එම මූල්‍ය උපකරණ කෙතරම් දුරට තම ආයෝජන සඳහා යෝග්‍ය වන්නේ ද යන්න කෙරෙහි ද අවධානය යොමු කළ යුතු ව ඇත.

ලංකාපුත්‍ර ඩිවලොප්මන්ට් බෑන්ක් ලිමිටඩ් වෙත නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කිරීම

2016 රජයේ අයවැය මගින් යෝජනා කරන ලද පරිදි ලංකාපුත්‍ර ඩිවලොප්මන්ට් බෑන්ක් ලිමිටඩ්, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමග ඒකාබද්ධ කිරීමෙන් අනතුරුව 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 76එෆ් වගන්තිය සමග කියවිය යුතු 9(9) වගන්තියේ නියෝග ප්‍රාකාරව, ලංකාපුත්‍ර ඩිවලොප්මන්ට් බෑන්ක් ලිමිටඩ් වෙත නිකුත් කර ඇති බලපත්‍රය 2019 අප්‍රේල් 01 දින සිට බලපැවැත්වෙන පරිදි අහෝසි කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, 2019 අප්‍රේල් 01 දින සිට බලපැවැත්වෙන පරිදි ලංකාපුත්‍ර ඩිවලොප්මන්ට් බෑන්ක් ලිමිටඩ්  හි සියළුම වත්කම් හා වගකීම් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් අත්පත් කර ගෙන ඒකාබද්ධ කරන ලද අතර, ලංකාපුත්‍ර  ඩිවලොප්මන්ට් බෑන්ක් ලිමිටඩ් මගින් කරගෙන ගිය සියළු බැංකු ව්‍යාපාර කටයුතු ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් කරගෙන යනු ලබයි.

නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් හි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම අවලංගු කිරීම

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් (ප‍්‍රාථමික අලෙවිකරුවන්) නියෝග හා දේශීය භාණ්ඩාගාර බිල්පත් (ප‍්‍රාථමික අලෙවිකරුවන්) නියෝගයන්ට අනුව, නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමට පනවා තිබූ ප‍්‍රාථමික අලෙවිකරුවකු වශයෙන් සිදුකරනු ලැබිය හැකි ව්‍යාපාර කටයුතු සහ ක‍්‍රියාකාරකම් අත්හිටුවීම 2019 නොවැම්බර් 30 වැනි දින පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

Pages