2016 අගෝස්තු මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභේගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2016 ජූලි මාසයේ දී වාර්තා කළ සියයට 5.8 සිට 2016 අගෝස්තු මාසයේ දී සියයට 4.5 දක්වා පහළ ගියේ ය. 2016 අගෝස්තු මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 ජූලි මස වාර්තා වූ සියයට 3.4 සිට 2016 අගෝස්තු මස දී සියයට 3.6 දක්වා ඉහළ ගියේ ය. 

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම සැලකූ විට 2016 ජූලි මාසයේ වාර්තා වූ දර්ශක අංක 115.2 සිට 2016 අගෝස්තු මාසයේ දී දර්ශක අංක 113.3 දක්වා සියයට 1.6ක අඩුවීමක් වාර්තා වේ. මෙම අඩු වීම සඳහා ආහාර කාණ්ඩයේ අයිිතමයන්හි මිල ගණන් පහළ යෑම ප්‍රධාන වශයෙන් හේතු විය. එළවළු, අමු මිරිස්, සීනි, පොල්, වියළි හාල්මැස්සන්, සහල්, පරිප්පු සහ රතුළුෑණු මිල ගණන් මාසය තුළ දී පහළ ගියේ ය. ආහාර නො වන කාණ්ඩය තුළ සෞඛ්‍ය;  සන්නිවේදන; සහ විනෝදාත්මක හා සංස්කෘතික යන උප කාණ්ඩවල මිල ගණන් 2016 අගෝස්තු මාසය තුළ දී පහළ ගියේ ය. රෙදිපිළි හා පාවහන්; ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු; ප්‍රවාහන; ආපන ශාලා හා හෝටල් සහ විවිධ භාණ්ඩ හා සේවා යන උප කාණ්ඩවල මිල ගණන් 2016 අගෝස්තු මාසය තුළ දී ඉහළ ගියේ ය. මේ අතර මධ්‍යසාර පාන හා දුම්කොළ උප කාණ්ඩයේ මිල ගණන් 2016 අගෝස්තු මාසය තුළ දී ඉහළ ගියේ ය. කෙ සේ වුව ද, අධ්‍යාපන උප කාණ්ඩය මාසය තුළ දී නො වෙනස් ව පැවැතුණි. 

ආර්ථිකයේ යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකය මූලික උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2016 ජූලි මස පැවැති සියයට 6.8 සිට 2016 අගෝස්තු මස වන විට සියයට 6.0 දක්වා පහළ ගියේ ය. වාර්ෂික සාමාන්‍ය ජාතික පාරිභෝගික මිල දර්ශකය මූලික උද්ධමනය 2016 ජූලි මස වාර්තා වූ සියයට 5.5 සිට 2016 අගෝස්තු මස වන විට සියයට 5.6 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය. 

සම්පූර්ණ ලිපිය

 

Published Date: 

Wednesday, September 21, 2016