ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගනී

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75%ක් ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළේය. වෙනස්වන දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ ඉදිරි දැක්ම පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. 2026 වසරේ මැයි මාසයේ දී පූර්වෝපායික පියවරක් ලෙස මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමේ ක්‍රියාමාර්ගය මෙන්ම ඒ හා සමගාමීව ක්‍රියාවට නැංවූ අනෙකුත් ක්‍රියාමාර්ගවල බලපෑම් බොහෝ දුරට දැනටමත් ආර්ථිකය වෙත සම්ප්‍රේෂණය වී පැවතීම පිළිබඳව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විශේෂ අවධානය යොමු විය. එමෙන්ම, මැදපෙරදිග කලාපයේ පවතින භූදේශපාලනික ආතතීන් හේතුවෙන් මතුවන අවිනිශ්චිතතා  සහ එල් නිනෝ තත්ත්වයන් තුළින්  ආර්ථිකයට ඇති විය හැකි අවදානම් පිළිබඳව ද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී. 

2026 වසරේ පළමු භාගයේ දී 4.7%ක (වාර්ෂික ලක්ෂ්‍යමය) මූර්ත වර්ධනයක් වාර්තා කරමින් දේශීය ආර්ථික ක්‍රියාකාරකම් ශක්තිමත්ව පැවතුණි. ගෝලීය මෙන්ම දේශගුණික තත්ත්වයන් ආශ්‍රිත අවිනිශ්චිතතා තුළින්  ආර්ථිකයේ  ඉදිරිදැක්ම කෙරෙහි බලපෑම් ඇති විය හැකි වුව ද, දැනට පවතින ප්‍රමුඛ ආර්ථික දර්ශක මගින් අඛණ්ඩ වර්ධන ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. මෑත කාලීනව ක්‍රියාවට නැංවූ  ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලික අංශය වෙත ලබාදෙන ණය වර්ධනය ක්‍රමයෙන් මන්දගාමී වෙමින් පැවතිය ද, ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සහාය  සැපයීමට හැකි පරිදි  ප්‍රමාණවත් ණය ප්‍රවාහයන් අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2026 වසරේ අගෝස්තු මාසයේ දී මතුපිට උද්ධමනය 8.0%ක් (වාර්ෂික ලක්ෂ්‍යමය) දක්වා ඉහළ ගිය අතර, එමගින් බලශක්ති ආශ්‍රිත කම්පනයේ බලපෑම ආර්ථිකයේ විවිධ අංශ වෙත සම්ප්‍රේෂණය වීම පිළිබිඹු කෙරේ. මතුපිට උද්ධමනය 2027 වසරේ පළමු කාර්තුව දක්වා කාලය තුළ දැනට පවතින මට්ටමට වඩා ඉහළ තනි ඉලක්කමක මට්ටමේ පවතිනු ඇතැයි පුරෝකථනය කරන අතර, අනතුරුව ක්‍රමයෙන් 5%ක ඉලක්කගත මට්ටම කරා පහළ යනු ඇත. ඉහළ බලශක්ති මිල ගණන්වල වක්‍ර බලපෑම් හේතුවෙන් මූලික උද්ධමනය ද ඉහළ ගියේය. වර්තමානයේ දී උද්ධමනයේ ඉහළ යාමක් දක්නට ලැබුණ ද, මැදිකාලීන උද්ධමන අපේක්ෂා බොහෝ දුරට ඉලක්කය වටා ස්ථායීව පවතී. 

මැදපෙරදිග කලාපයේ පවතින ආතතීන් මධ්‍යයේ වුව ද, විදේශ අංශයේ ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පැවතුණි. අඛණ්ඩව මාස හතරක් මුළුල්ලේ  හිඟයක් වාර්තා කිරීමෙන් අනතුරුව, ජංගම ගිණුම 2026 වසරේ අගෝස්තු මාසයේ දී අතිරික්තයත් වාර්තා කර ඇත. ඒ සඳහා, සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් වැඩිදියුණු වීම මෙන්ම  වෙළඳ භාණ්ඩ ආනයන වියදම් පහළ යාම හේතු වී ඇත. 2026 වසරේ අගෝස්තු මස අවසානය වනවිට දළ නිල සංචිත එ.ජ.ඩොලර් බිලියන 6.9ක්  දක්වා ඉහළ ගිය අතර, මහ බැංකුව විදේශ විනිමය ශුද්ධ පදනමින් මිලදී ගැනීම ඒ සඳහා සහාය විය. 2026 වසරේ ජූලි සහ අගෝස්තු මාසවල දී එ.ජ. ඩොලරයට සාපේක්ෂව අතිප්‍රමාණය වීමක් වාර්තා කළ ශ්‍රී ලංකා රුපියල, සැප්තැම්බර් මාසයේ දී මිශ්‍ර හැසිරීමක් පෙන්නුම් කළේය. මෑතක දී සිදු කරන ලද ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ යාම හේතුවෙන් වෙළඳපොළ විශ්වාසය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

මහ බැංකුව සිය ප්‍රතිපත්ති තීරණ ගැනීමේ දී ඉදිරි දැක්මක් සහිතව මෙන්ම දත්ත මත පදනම්ව කටයුතු කරනු ඇත. උද්ධමන පීඩන තවදුරටත් තීව්‍ර වුවහොත් හෝ උද්ධමන අපේක්ෂා ඉල්ලකගත මට්ටමෙන් අපගමනය වීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කළහොත්, මැදි කාලීනව ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟාවීම සඳහා සහාය වන අතරම, උද්ධමනය ඉලක්කගත මට්ටම වටා ස්ථාවර වීම තහවුරු කිරීම සඳහා කාලෝචිත සහ සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට මහ බැංකුව සුදානමින් සිටී.

මීළඟ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2026 වසරේ නොවැම්බර් 20 වන දින නිකුත් කිරීමට නියමිතය.

PDF

 

Published Date: 

Wednesday, September 30, 2026