2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණ පනත යටතේ කෝපරේටිව් ලීසිං කම්පැනි ලිමිටඩ් ආයතනයේ ලියාපදිංචිය අවලංගු කිරීම

2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණ පනත, සංශෝධිත (කල්බදු මූල්‍යකරණ පනත) යටතේ ලියාපදිංචි කල්බදු මූල්‍ය සමාගමක් වන කෝපරේටිව් ලීසිං කම්පැනි ලිමිටඩ් ආයතනය, 2010 අංක 02 දරන කල්බදු මූල්‍යකරණ ( වාර්තා කිරීමේ අවශ්‍යතා) විධානය සමඟ අනුගත වීමට අඛණ්ඩව අසමත්වීම සහ බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම සඳහා වන ප්‍රධාන සැලැස්ම මත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවනු ලැබ ඇති අවශ්‍යතා සපුරාලීම සඳහා වරින් වර ලබා දුන් කාලය දීර්ඝ කිරීම්ද නොසලකා හරිමින්, එම ඒකාබද්ධ කිරීමේ සැලැස්මට අනුකූල වීමට අපොහොසත් වීම තුළින් ශ්‍රී ලංකා මහ බැංකුවේ, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් පනවන ලද විධාන කඩකරමින් කටයුතු කොට ඇත.

කෝපරේටිව් ලීසිං කම්පැනි ලිමිටඩ් ආයතනය, ඒකාබද්ධ කිරීමේ සැලැස්ම සඳහා අනුකූල වීම සම්බන්ධයෙන් කිසිදු සතුටුදායක ප්‍රගතියක් පෙන්නුම් කිරීමට අපොහොසත් වී ඇති අතර, තම ව්‍යාපාර කටයුතුවල ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා සුදුසු සාර්ථක ව ක්‍රියාත්මක කළ  හැකි සැලැස්මක් ඉදිරිපත් කිරීමට ද අසමත් වී ඇත.

ඉහත කරුණු සැලකිල්ලට ගනිමින්, කල්බදු මූල්‍යකරණ පනතෙහි විධිවිධාන යටතේ ලියාපදිංචි කල්බදු මූල්‍ය සමාගමක් ලෙස කෝපරේටිව් ලීසිං කම්පැනි ලිමිටඩ් ආයතනය වෙත බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් නිකුත් කරන ලද ලියාපදිංචි සහතිකය, කල්බදු මූල්‍යකරණ පනතෙහි 9(1)(ඊ) වගන්තිය යටතේ, 2026.06.10 දින සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇත.

ඒ අනුව, මෙම අවලංගු කිරීම බලාත්මක වූ දිනට පෙර ආරම්භ කළ යම් කල්බදු මූල්‍ය ව්‍යාපාර කටයුත්තක් හැර, යම් නව කල්බදු මූල්‍යකරණ ව්‍යාපාර කටයුත්තක් සිදු කිරීමට, උක්ත කෝපරේටිව් ලීසිං කම්පැනි ලිමිටඩ් ආයතනය සඳහා කිසිදු නීතිමය බලයක් නොමැති බව මහජනයා වෙත දැනුම් දෙනු ලැබේ.

PDF

Published Date: 

Wednesday, June 10, 2026