2026 වසරේ පළමු කාර්තුව තුළ මූල්‍ය අංශයේ කාර්යසාධනය

මැදපෙරදිග කලාපයේ තීව්‍ර වූ ආතති තත්ත්වයන් සහ ගෝලීය අවිනිශ්චිතතා හේතුවෙන් මතුවූ අභියෝගාත්මක ජාත්‍යන්තර හා දේශීය තත්ත්වයන් මධ්‍යයේ වුවද, 2026 වසරේ පළමු කාර්තුව තුළ මූල්‍ය පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පැවතුණි. ගෝලීය අවිනිශ්චිතතා සහ බාහිර අංශයේ පීඩන හමුවේ වුවද, 2026 පළමු කාර්තුව තුළ දේශීය සාර්වමූල්‍ය තත්ත්වයන් සාධනීය මට්ටමක පැවතුණි. ප්‍රධාන වශයෙන්, පෞද්ගලික අංශයට ණය ලබා දීම්වල ඉහළ යාම නිසා, මෙම කාලසීමාව තුළ බලපත්‍රලාභී බැංකු සහ මුදල් සමාගම් විසින් සපයන ලද මුළු ණය ප්‍රමාණය ඉහළ යමින් ණය වර්ධනය තවදුරටත් වේගවත් විය. ඒ අනුව, ණය නිරාවරණයන් වැඩි වශයෙන් පෞද්ගලික අංශය වෙත මාරු වූ අතර, රජය සහ රාජ්‍ය සංස්ථා වෙත පැවති නිරාවරණයන් සුළු වශයෙන් අඩු විය. ස්වෛරී-බැංකු සබඳතාව (sovereign-bank nexus) මඟින්, රජය සහ බැංකු ක්ෂේත්‍රය අතර අන්තර්සම්බන්ධතාවන් තවදුරටත් පිළිබිඹු විය.

මෙම කාර්තුව තුළ බැංකු අංශයේ ණය සහ තැන්පතු අතර අනුපාතය (credit-to-deposit ratio) පසුගිය වසර තුන තුළ පළමු වතාවට 70% සීමාව ඉක්මවා යමින් මූල්‍ය අතරමැදිකරණය  (financial intermediation) තවදුරටත් වැඩි දියුණු වූ අතර, එමඟින් ණය දීමේ අඛණ්ඩ ප්‍රතිසාධනයක්  පෙන්නුම් කළේය. කෙසේ වුව ද, දළ දේශිය නිශ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස පෞද්ගලික අංශයේ ණය සහ එහි දිගුකාලීන ප්‍රවණතාව අතර පරතරය ධනාත්මක කලාපය තුළ තවදුරටත් පුළුල් වූ අතර, එය එම අංශය තුළ පද්ධතිමය අවදානම් ගොඩනැගීමේ හැකියාව අවධාරණය කරයි. ඉදිරි කාලය තුළ, ඉහළ ගිය බලශක්ති මිල ගණන්, භාණ්ඩ මිල උච්චාවචනයන්, විනිමය අනුපාතයේ උච්චාවචනයන්, අහිතකර කාලගුණික තත්ත්වයන් සහ ඉහළ යන උද්ධමනය වැනි ගෝලීය අභියෝග, සාර්වමූල්‍ය තත්ත්වයන් මත පීඩා ඇති කළ හැකිය. එබැවින්, මූල්‍ය පද්ධති ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය (fiscal consolidation), ශක්තිමත් විදේශීය ස්වාරක්‍ෂක (External Buffers) සහ නැඟී එන සාර්වමූල්‍ය අවදානම් පිළිබඳ සවිමත් අධීක්ෂණය අත්‍යවශ්‍ය වේ.

2026 පළමු කාර්තුව තුළ දී බැංකු අංශයේ ණය වර්ධනය අඛණ්ඩව වේගවත් වූ අතර, ලාභදායීතාවයේ සුළු පහළ යාමක් සමඟ ද්‍රවශීලතාවයේ සහ ප්‍රාග්ධන ස්වාරක්ෂකයන්හි සුළු අඩු වීමක් පෙන්නුම් කරන ලදී. බැංකු අංශය විසින් ලබාදුන් ණය, 2025 වසරේ පළමු කාර්තුව අවසානයේ දී වාර්තා කළ 7.9%ක වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනයට සාපේක්ෂව 2026 වසරේ පළමු කාර්තුව අවසානයේ දී 24.4%කින් ප්‍රසාරණය විය. ණය ප්‍රසාරණය සහ අදියර 3 යටතේ පවතින ණයවල සුළු පහත වැටීම හේතුවෙන්, මෙම අංශයේ අදියර 3 යටතේ පවතින ණය අනුපාතය 2025 වසරේ පළමු කාර්තුව අවසානයේ වාර්තා වූ 12.7%ට සාපේක්ෂව 2026 වසරේ පළමු කාර්තුව අවසානයේ දී 9.4%ක් දක්වා පහත වැටුණි. තවද, බැංකු අංශයේ අදියර 3 යටතේ පවතින ණය සඳහා වන ණය හානිකරණ ආවරණ අනුපාතය 2025 වසරේ පළමු කාර්තුව අවසානයේ පැවති 54.1%ට සාපේක්ෂව 2026 වසරේ පළමු කාර්තුව අවසානයේ දී 59.5%ක් දක්වා ඉහළ ගියේය. ද්‍රවශීලතා ස්වාරක්ෂක පහළ යාම මගින් මෙම අංශයේ ණය ප්‍රසාරණය තවදුරටත් පිළිබිඹු වූ අතර, රුපියල් ද්‍රවශීලතා ආවරණ අනුපාතය සහ සියලු මුදල් ඒකක සඳහා වන ද්‍රවශීලතා ආවරණ අනුපාතය 2025 වසරේ පළමු කාර්තුව අවසානයේ දී වාර්තා වූ පිළිවෙළින් 342.4% සහ 310.6%ට සාපේක්ෂව 2026 වසරේ පළමු කාර්තුව අවසානයේ දී පිළිවෙළින් 267.9% සහ 234.7%ක් දක්වා පහත වැටුණි. කෙසේ වෙතත්, මෙම ද්‍රවශීලතා ස්වාරක්ෂක තවදුරටත් අවම නියාමන අවශ්‍යතාව වන 100%ට වඩා සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පැවතුණි. මේ අතර, මෙම අංශයේ බදු පසු ලාභය 2026 වසරේ පළමු කාර්තුව තුළ දී වාර්ෂික ලක්ෂ්‍යමය වශයෙන් 7.1%ක සුළු පහත වැටීමක් වාර්තා කළ අතර මීට ප්‍රධාන වශයෙන් මෙම කාර්තුවේ මෙහෙයුම් වියදම් ඉහළ යාම හේතු විය. මෙම පහළ ගිය ලාභය පිළිබිඹු කරමින් බැංකු අංශයේ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය සහ වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය 2025 වසරේ පළමු කාර්තුව අවසානයේ වාර්තා වූ පිළිවෙළින් 18.7% සහ 2.6%ට සාපේක්ෂව 2026 වසරේ පළමු කාර්තුව අවසානයේ දී පිළිවෙළින් 14.8% සහ 2.2%ක් දක්වා පහළ යන ලදී. තවද, ප්‍රධාන වශයෙන් ණය ප්‍රසාරණය මඟින් මෙහෙයවනු ලබන අවදානම් මත බර තැබූ වත්කම් වැඩි වීම පිළිබිඹු කරමින් සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය වසරකට පෙර පැවති 19.4%ට සාපේක්ෂව 2026 වසරේ පළමු කාර්තුව අවසානයේ දී 18.3%ක් දක්වා පහළ ගියේය. කෙසේ වුවද, ප්‍රාග්ධන ස්වාරක්ෂක අවම නියාමන අවශ්‍යතාවලට වඩා සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමකින් පැවතුණි. මීට අමතරව, ශ්‍රී ලංකා රුපියලෙහි මෑතකාලීන අවප්‍රමාණය වීම සහ වර්ධනය වූ ද්විතියීක වෙළඳපොළ ප්‍රතිලාභ හේතුවෙන් මෙම අංශයේ ප්‍රාග්ධන ස්වාරක්ෂක, වත්කම් මත ප්‍රත්‍යාගණන (Revaluation) බලපෑම ඔස්සේ තවදුරටත් පහත වැටීමට ඉඩ ඇත. තවද, වංචා සහ සයිබර් ආශ්‍රිත සිදුවීම්වලට නිරාවරණය වීමේ සම්භාවිතාවය, අවදානය යොමු කළ යුතු කරුණක් වන අතර, ඩිජිටල් ගනුදෙනුවලදී සමීප අධීක්ෂණයක සහ ඉහළ සුපරීක්ෂාකාරීත්වයක අවශ්‍යතාවය පිළිබිඹු කරයි.

මුදල් සමාගම් අංශය සිය ඉහළ ණය වර්ධන ප්‍රවණතාවය 2026 වසරේ පළමු කාර්තුව තුළදී ද අඛණ්ඩව පවත්වාගත් අතර, ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාවයේ සුළු පහත යාමක් පැවතියද, ද්‍රවශීලතාව සහ ලාභදායීතාවය සතුටුදායක මට්ටමක පවත්වා ගනු ලැබීය. ප්‍රධාන වශයෙන් වාහන මත සහ රන් සුරැකුම් මත ලබා දුන් ණය හේතුවෙන් මුදල් සමාගම් අංශය ලබා දුන් ණය ප්‍රමාණය, 2025 වසරේ පළමු කාර්තුව අවසානයේ දී වාර්තා වූ 26.9%ක වාර්ෂික ලක්ෂ්‍යයමය වර්ධනයට සාපේක්ෂව 2026 වසරේ පළමු කාර්තුව අවසානයේ දී 52.4%කින් ඉහළ ගියේය. ඒ අනුව 2026 වසරේ පළමු කාර්තුව අවසානයේ දී වාහන මත ලබා දුන් ණය ප්‍රමාණය 52.8%ක වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනයක් වාර්තා කළ අතර, රන් සුරැකුම් මත ණය ද 69.2%ක ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කළේය. කෙසේ වෙතත්, ආනයන බදු ඉහළ යාම සහ විනිමය අනුපාතිකයේ අවප්‍රමාණය වීම හේතුවෙන් වාහන මිල ඉහළ යාම මෙන්ම, දැඩි මුදල් ප්‍රතිපත්ති හා සාර්ව විචක්ෂණ පියවරයන් පදනම් කරගෙන මුදල් සමාගම් අංශයේ අනාගත ණය ප්‍රසාරණ ප්‍රවණතාවයෙහි යම් පහළ යාමක් අපේක්ෂා කෙරේ. අදියර 3 යටතේ පවතින ණයවල කැපීපෙනෙන පහත වැටීමක් සහ ඉහළ ගිය ණය ප්‍රසාරණය හේතුවෙන්, මෙම අංශයේ අදියර 3 යටතේ පවතින ණය අනුපාතය 2025 වසරේ පළමු කාර්තුව අවසානයේ වාර්තා වූ 8.6% සිට 2026 වසරේ පළමු කාර්තුව අවසානයේ දී 4.4%ක් දක්වා පහත වැටුණි. අදියර 3 යටතේ පවතින ණය පහළ ගිය ද, මෙම අංශයේ අදියර 3 යටතේ පවතින ණය සඳහා වන ණය හානිකරණ ආවරණ අනුපාතය 2025 වසරේ පළමු කාර්තුව අවසානයේ දී පැවති 47.4%ට සාපේක්ෂව 2026 වසරේ පළමු කාර්තුව අවසානයේ දී 45.1%ක් දක්වා පහළ ගියේය. තවද, 2026 වසරේ පළමු කාර්තුව අවසානයේ දී මුළු ද්‍රවශීල වත්කම් 9.7%ක වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනයක් වාර්තා කිරීමත් සමඟ, මුදල් සමාගම් අංශයේ ද්‍රවශීලතා මට්ටම අවම නියාමන අවශ්‍යතාවලට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පැවතුණි. මේ අතර, 2025/26 මූල්‍ය වර්ෂය තුළ දී මෙම අංශයේ බදු පසු ලාභය 28.8%ක සැලකිය යුතු වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනයක් වාර්තා කළේය. එමෙන්ම මෙම අංශයේ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය 2025 වසරේ පළමු කාර්තුව අවසානයේ පැවති 15.2%ට සාපේක්ෂව 2026 වසරේ පළමු කාර්තුව අවසානයේ දී 17.2%ක් දක්වා ඉහළ ගිය අතර, එම කාලපරිච්ඡේදය තුළ වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය 6.6% සිට 6.2%ක් දක්වා පහළ ගියේය. තවද, මෙම කාලපරිච්ඡේදය තුළ පැවති සැලකිය යුතු ණය ප්‍රසාරණය හේතුවෙන් මුදල් සමාගම් අංශයේ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය 2025 වසරේ පළමු කාර්තුව අවසානයේ පැවති 20.9%ට සාපේක්ෂව 2026 වසරේ පළමු කාර්තුව අවසානයේ දී 18.4%ක් දක්වා පහළ ගියේය.

2026 වසරේ මුල් මාස පහ තුළ, මැදපෙරදිග කලාපයේ පවතින ආතතීන් සමඟ හටගත් බාහිර අංශයේ අවදානම් සහ වෙළඳපොළ සහභාගීවන්නන්ගේ සමපේක්ෂණ ක්‍රියාකාරකම් මධ්‍යයේ දේශීය මූල්‍ය වෙළඳපොළවල් යම් පීඩනයකට ලක් විය. 2026 මැයි අවසානය වන විට කොළඹ කොටස් වෙළඳපොළ (Colombo Stock Exchange) දර්ශක ඉහළ විචලනයක් සහ පහළ ගිය ආයෝජක අවධානයක් පෙන්නුම් කළ අතර, සියලු කොටස් මිල දර්ශකයෙහි (ASPI) 1.4%ක සුළු පහළ යාමක් සහ S&P SL20 දර්ශකයෙහි 0.03%ක සුළු වර්ධනයක් වාර්තා විය. වෙළඳපොළ තත්ත්වයන් අතර ඉහළ ගිය දර්ශක විචලනය, අසමතුලිත ද්‍රවශීලතා තත්ත්වයන් සහ අඛණ්ඩ ශුද්ධ විදේශ ආයෝජන පිටතට ගලායාම නිරීක්ෂණය වූ අතර, එමඟින් කොටස් වෙළඳපොළ ගෝලීය අවදානම්වලට දක්වන ඉහළ සංවේදීතාව, දේශීය උද්ධමන අපේක්ෂාවන්ගේ ඉහළ යාම සහ බාහිර කම්පනවල බලපෑම පිළිබිඹු විය. කොටස් වෙළඳපොළෙහි 2025 සහ 2024 වසරවල දී වාර්තා වූ සමුච්චිත ශුද්ධ විදේශ ගලායාම්වලට අමතරව 2026 මැයි මස අවසානය වන විට සමුච්චිත ශුද්ධ විදේශ ගලායාම් ඇමරිකානු ඩොලර් මිලියන 103.4ක් ලෙස වාර්තා විය. මේ අතර,  2026 මාර්තු මාසයේ සිට රජයේ සුරැකුම්පත් වෙළඳපොළ ඵලදා අනුපාතිකවල තරමක ඉහළ යාමක් නිරීක්ෂණය විය. 2026 මැයි මස අවසානයේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළ නැංවීමත් සමඟ ඵලදා අනුපාතික (yields) තවදුරටත් ඉහළ යන ලදී. මෙම කාලය තුළ රජයේ සුරැකුම්පත්වල ද්විතීයික වෙළඳපොළ    ක්‍රියාකාරිත්වය ද තරමක් පහළ ගිය අතර, ගෝලීය අවිනිශ්චිතතා හේතුවෙන් විදේශීය ගලාඒම් ද විචලනය විය. දේශීය විදේශ විනිමය වෙළඳපොළ තුළ, ශ්‍රී ලංකා රුපියල මෙම වසර තුළ දී අඛණ්ඩව විචලනය වීම බාහිර අංශයේ පීඩනය වැඩි වීම තුළින් පිළිබිඹු කෙරිණි. දේශීය මුදල් වෙළඳපොළෙහි ද්‍රවශීලතාව අඛණ්ඩව අතිරික්ත මට්ටමක පැවතුණ අතර, මහ බැංකුව විසින් අතිරික්ත ද්‍රවශීලතාවය විවට වෙළඳපොළ කටයුතු තුළින් අවශෝෂණය කර ගන්නා ලදී.

ඇපකර මත පදනම් වූ ණය දීම් මෑතකාලීනව සැලකිය යුතු ලෙස වර්ධනය වීම මෙන්ම භූදේශපාලනික අවිනිශ්චිතතාවයන් සහ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි විනිමය අනුපාතික විචලනයන් හේතුවෙන් ඇති වූ වත්කම් මිලෙහි උච්චාවචනයන් සැලකිල්ලට ගනිමින්, මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාමාර්ග කිහිපයක් හඳුන්වා දෙන ලදී. ඒ අනුව, 2026 මැයි 25 දින සිට ක්‍රියාත්මක වන පරිදි, රන්  ඇපකරයක් මගින් සුරක්ෂිත කරනු ලබන ණය සඳහා 70%ක වටිනාකම මත උපරිම ණය අනුපාතයක් (Loan To Value ratio) හඳුන්වා දී ඇති අතර , මෝටර් වාහන සඳහා ලබා දෙන ණය පහසුකම් සඳහා පවතින වටිනාකම මත උපරිම ණය අනුපාත සීමාවන් ප්‍රතිශතාංක 10කින් දැඩි කර ඇත .

PDF

Published Date: 

Friday, June 5, 2026