ශ්‍රී ලංකා මහ බැංකුව රන් ඇපකරයක් මගින් සුරක්ෂිත කරනු ලබන ණය සඳහා වටිනාකම මත උපරිම ණය අනුපාතයක් හඳුන්වා දීම සහ මෝටර් රථ සඳහා ලබා දෙන ණය සඳහා වටිනාකම මත ණය අනුපාත දැඩි කිරීම

2026 වසරේ මැයි 25 වන දින සිට බලාත්මක වන පරිදි, රන් ඇපකරයක් මගින් සුරක්ෂිත කරනු ලබන ණය පහසුකම් සඳහා වටිනාකම් මත උපරිම ණය අනුපාත සීමාවක් හඳුන්වා දීමට සහ මෝටර් රථ සම්බන්ධයෙන් ලබා දෙන ණය පහසුකම් සඳහා අදාළ වන වටිනාකම් මත උපරිම ණය අනුපාත සීමා දැඩි කිරීමට මහ බැංකුවේ පාලක මණ්ඩලය තීරණය කළේය. විචක්ෂණශීලී ණය දීමේ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම, මූල්‍ය ආයතනවල ඔරොත්තු දීමේ හැකියාව සුරක්ෂිත කිරීම සහ පද්ධතිමය අවදානම් ගොඩනැඟීම අවම කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එහි සාර්ව විචක්ෂණ අධිකාරියට අනුකූලව මෙම පියවර ගනු ලැබීය.

මෙම තීරණවලට එළඹීමේදී, මෝටර් රථ වාහන මූල්‍යකරණය සඳහා ලබාදුන් ණය සහ රන් ඇපකරයක් මගින් සුරක්ෂිත කර ඇති ණය පහසුකම්වල මෑතකදී ඇති වූ සැලකිය යුතු වර්ධනය සහ එවැනි ප්‍රවණතා ඉදිරියටත් පැවතීම මගින්  මූල්‍ය පද්ධතියට ඇති විය හැකි බලපෑම පාලක මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබීය. භූ දේශපාලනික හා භූ ආර්ථික වර්ධනයන් හේතුවෙන් ඇති වූ ඉහළ අවිනිශ්චිතතා මෙන්ම මෑතකාලීන විනිමය අනුපාතික උච්චාවචනයන් ද රන් ඇතුළු වත්කම් මිල ගණන්වල අස්ථාවරත්වය ඉහළ යෑමට හේතු වී තිබේ. වාහන ආනයනය සඳහා වූ අධිභාරය තාවකාලිකව ඉහළ නැංවීම සහ විනිමය අනුපාතයන්හි සිදුවන වෙනස්වීම් හේතුවෙන් වාහන මිල ගණන් තාවකාලිකව ඉහළ යෑමේ හැකියාවක් පවතී. මෙවැනි උච්චාවචනයන් ඇපකරවල වටිනාකමට මෙන්ම ඒ හා සම්බන්ධ ණය අවදානම් කෙරෙහි ද බලපෑම් එල්ල කළ හැකි අතර අඛණ්ඩව සිදුවන වේගවත් ණය ප්‍රසාරණය හේතුවෙන් මූල්‍ය පද්ධතිය තුළ අධික අවදානම් ගොඩනැඟීම වැළැක්වීම සඳහා මැදිහත්වීමක් අවශ්‍ය වේ.

ඒ අනුව, බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් විසින් ලබා දෙන රන් ඇපකරයක් මගින් සුරක්ෂිත කරනු ලබන ණය පහසුකම් මෙන්ම මෙම විධානයන් බලාත්මක වන දින හෝ ඉන් පසුව අලු‍ත් කරනු ලබන පවතින ණය පහසුකම් සඳහා සියයට 70ක වටිනාකම් මත උපරිම ණය අනුපාතයක් හඳුන්වා දී ඇත. තවද, මෝටර් රථ සම්බන්ධයෙන් ලබා දෙන ණය පහසුකම් සඳහා අදාළ වන වටිනාකම් මත උපරිම ණය අනුපාත සීමාවන් ප්‍රතිශතාංක 10කින් දැඩි කර ඇත. 

බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මුදල් සමාගම් සහ ලියාපදිංචි මූල්‍ය කල්බදුකරණ ආයතන වෙත නිකුත් කරන ලද ඉහත සඳහන් සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති විධානයන් පහත වෙබ් සබැඳි හරහා ලබා ගත හැකිය.

https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/laws/CBSL_Act_Directions_No_1_of_2026_e.pdf

https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/laws/CBSL_Act_Directions_No_2_of_2026_e.pdf

PDF

Published Date: 

Sunday, May 24, 2026