ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා වාර්ෂික ආර්ථික විවරණය ප්‍රකාශයට පත් කරයි

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80 වැනි වගන්තියට අනුකූලව ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික විවරණය 2025, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් අද (2026 අප්‍රේල් 20) දින ගරු ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වන ලදී.

2025 වසර සඳහා වාර්ෂික ආර්ථික සමාලෝචනයේ ප්‍රධාන කරුණු පහත දැක්වේ:

සාර්ව ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව පවත්වා ගැනීම සහ ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රතිපත්තිමය හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ තුළින් අනුබල ලබමින් 2025 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය පෙර වසර වල දී සාක්ෂාත් කරගත් ප්‍රගතිය තවදුරටත් ශක්තිමත් කර ගත්තේය. වෙළඳ සහ භූ දේශපාලනික ප්‍රවණතා ආශ්‍රිත ගෝලීය අවිනිශ්චිතතා ඉහළ යෑම මෙන්ම, 2025 වසර අග භාගයේ දී ඇති වූ අයහපත් කාලගුණ තත්ත්ව සහ ව්‍යසනකාරී ස්වාභාවික විපත්වල බලපෑම් මධ්‍යයේ වුව ද දේශීය ආර්ථික ක්‍රියාකාරකම්හි ඔරොත්තු දීමේ හැකියාව පැවතිණි. සාර්ව ආර්ථික තත්ත්වයන් වර්ධනය වීම සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය වැඩිදියුණු වීම මෙන්ම, ඒ හරහා වැඩිදියුණු වූ ආයෝජක විශ්වාසය මගින් කම්පනවලට වඩාත් ඵලදායීව මුහුණ දීම සඳහා අවශ්‍ය ස්වාරක්ෂක ගොඩ නැංවීමට ආර්ථිකය සතු හැකියාව වැඩි දියුණු කරමින් තිරසර ආර්ථික වර්ධනයකට මග පෑදුවේය.

මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ 5%ක ඇස්තමේන්තුගත වර්ධනයක් වාර්තා කරමින් 2025 වසරේ දී ආර්ථිකය අඛණ්ඩව දෙවන වසරටත් ප්‍රසාරණය වූ අතර, එමගින් සමස්ත ආර්ථික ක්‍රියාකාරකම්වල ශක්තිමත් වර්ධනය පිළිබිඹු විය. ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමත් සමඟ ශ්‍රම වෙළඳපොළ තත්ත්වයන් වර්ධනය විය. අවධමන කාලපරිච්ඡේදයකින් පසුව, ප්‍රධාන වශයෙන් බලශක්ති ආශ්‍රිත මිල ගණන් පහළ යෑම අඩු වීම සහ ආහාර මිල ගණන් ඉහළ යෑම හේතුවෙන්, 2025 වසරේ අගෝස්තු මාසයේ දී උද්ධමනය ධන මට්ටමකට පත් වූ අතර, ඉල්ලුම් තත්ත්වය ස්ථාවරව පැවතීම ද මේ සඳහා හේතුවිය. පැවති ලිහිල් මුදල් තත්ත්ව පිළිබිඹු කරමින් පොලී අනුපාතිකවල සිදු වූ පහළ යාම හේතුවෙන් පෞද්ගලික අංශය වෙත ලබාදුන් ණය කැපී පෙනෙන අයුරින් ඉහළ ගියේය. වාහන ආනයන සීමා ඉවත් කිරීම හේතුවෙන් 2025 වසරේ දී ආනයන සහ ණය සඳහා වූ ඉල්ලුම තවදුරටත් ඉහළ ගියේය. වෙළඳ හිඟයේ පුළුල් වීමක් වාර්තා වුවද, විශේෂයෙන් මේ දක්වා වාර්තා වූ ඉහළ ම වැඩිවීමක් පෙන්නුම් කළ විදේශ ප්‍රේෂණ ලැබීම් සහ වැඩිදියුණු වූ සේවා අපනයනවල සහායයෙන් ජංගම ගිණුම අඛණ්ඩව තෙවන වසරටත් අතිරික්තයක් වාර්තා කිරීමත් සමඟ බාහිර අංශයේ ක්‍රියාකාරීත්වය තවදුරටත් ශක්තිමත් විය. විදේශීය ණය සේවාකරණ ගෙවීම් මධ්‍යයේ වුවද, අඛණ්ඩව සංචිත ගොඩනඟා ගැනීම සඳහා මෙම විදේශ විනිමය ලැබීම් හේතු වූ අතර, නම්‍යශීලී විනිමය අනුපාතික ක්‍රමය යටතේ ශ්‍රී ලංකා රුපියල මධ්‍යස්ථ මට්ටමේ අවප්‍රමාණය වීමක් වාර්තා කළේය. ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාමාර්ගවල සහායයෙන් රාජ්‍ය මූල්‍ය කාර්යසාධනයේ සිදු වූ ශක්තිමත්භාවය පිළිබිඹු කරමින් ප්‍රාථමික ශේෂය, අඛණ්ඩව තෙවන වසරටත් අතිරික්තයක් වාර්තා කළ අතර, අවදානමට ලක්විය හැකි පිරිස් වෙත අවශ්‍ය සහාය සැපයීම සඳහා ද වසර තුළ දී අඛණ්ඩව පියවර ගැනිණි. සාර්ව ආර්ථික තත්ත්වයන් ශක්තිමත් වීම මධ්‍යයේ මූල්‍ය අංශයේ ක්‍රියාකාරීත්වය ද වර්ධනය විය. ප්‍රධාන වශයෙන් ණය ප්‍රසාරණය ශක්තිමත්වීමේ සහාය ලබමින් වත්කම්වල ගුණාත්මකභාවය සැලකිය යුතු ලෙස ඉහළ යෑමත් සමඟ 2025 වසරේ දී බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන යන දෙඅංශයේ ම ලාභදායීත්වය ඉහළ ගියේය. බැංකු සහ මුදල් සමාගම්වල ද්‍රවශීලතාව සහ ප්‍රාග්ධන ස්වාරක්ෂක වසර තුළ දී අවම නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළින් පැවති අතර, එමගින් මූල්‍ය අංශයේ ඔරොත්තු දිමේ හැකියාව පිළිබිඹු කෙරිණි. 

වැඩි දියුණු වූ සාර්ව ආර්ථික වාතාවරණය මධ්‍යයේ, මිල ස්ථායීතාව සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව පවත්වා ගැනීම 2025 වසර තුළ දී මහ බැංකුවේ ප්‍රතිපත්ති ප්‍රමුඛතාවය විය. අඩු උද්ධමනය සහ ඉහළ ගිය ගෝලීය අවිනිශ්චිතතා පවතින වාතාවරණයක් තුළ මුදල් ප්‍රතිපත්තිය ලිහිල්ව පවත්වා ගැනිණි. එමගින්, අඩු පොලී අනුපාතික මට්ටමක් අඛණ්ඩව පවත්වා ගැනීමටත් ණය ප්‍රසාරණය වීමටත් සහාය සැපයිණි. විදේශ විනිමය මිලදී ගැනීම් හරහා විදේශ සංචිත ගොඩනැගීමට කටයුතු කරන ලද අතර, එමගින් ස්වාරක්ෂක ශක්තිමත් කිරීම සහ බාහිර අංශයේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සිදු විය. තවද, විදේශ අංශයේ ඉහළ ගිය කාර්යසාධනයත් සමඟ ප්‍රාග්ධන ප්‍රවාහ මත පනවා තිබු කළමනාකරණ විධිවිධාන ක්‍රමයෙන් ලිහිල් කිරීමට සහ වාහන ආනයන සීමා සම්පූර්ණයෙන් ම ඉවත් කිරීමට අවස්ථාව සැලසුණි. පද්ධති ස්ථායීතාව තහවුරු කරන අතර, වෙනස් වන ආර්ථික හා තාක්ෂණික තත්ත්වයන්ට මූල්‍ය පද්ධතිය අනුකූල වීම සහතික කිරීම සඳහා මහ බැංකුව විසින් 2025 වසරේ දී පුළුල් පරාසයක විහිදුණු නියාමන, අධීක්ෂණ හා මූල්‍ය පද්ධතියේ සංවර්ධන මුලපිරීම් සමූහයක් ක්‍රියාවට නැංවීය. වැඩිදියුණු කළ සාර්ව විචක්ෂණ ක්‍රියාමාර්ග සහ ශක්තිමත් අධීක්ෂණ හා නියාමන රාමු හරහා මූල්‍ය පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව තවදුරටත් වැඩිදියුණු කිරීමට කටයුතු කෙරිණි. මූල්‍ය ප්‍රතිසාධන සැලසුම්කරණ අවශ්‍යතා හඳුන්වා දීම සහ නිරාකරණ හා තැන්පතු රක්ෂණ රාමුව වැඩිදියුණු කිරීම මගින් මූල්‍ය අර්බුද සඳහා පූර්ව සූදානම ශක්තිමත් කිරීමේ ප්‍රයත්න තවදුරටත් ඉදිරියට ගෙන යන ලදී. ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම, වැඩිදියුණු කළ සයිබර් ආරක්ෂණය සහ තාක්ෂණික අවදානම් කළමනාකරණය සමඟින් මූල්‍ය පද්ධති නවීකරණය කිරීමේ ප්‍රයත්න තවදුරටත් ප්‍රගතියක් අත්කර ගත්තේය. නෛතික ප්‍රතිසංස්කරණවල සහාය ඇතිව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සහ සමූලඝාතක අවි සංගුණනය සඳහා මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ක්‍රියාමාර්ගයන්හි අඛණ්ඩ ප්‍රගතියක් වාර්තා විය. 

ස්ථායීතාව ප්‍රමුඛ කරගනිමින් ක්‍රියාවට නංවන ලද ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ තුළින් ශ්‍රී ලංකාවට ස්වාරක්ෂක ගොඩනගා ගැනීමට මෙන්ම, ස්ථාවර සාර්ව ආර්ථික පදනමක් පවත්වා ගැනීමට හැකි විය. කෙසේ වෙතත්, භූ-දේශපාලනික අර්බුදකාරී තත්ත්ව, වෙළඳ අවහිරතා සහ දේශගුණික විපර්යාස ආශ්‍රිත අවදානම් ඇතුළුව අඛණ්ඩව ඉහළ මට්ටමක පවතින ගෝලීය අවිනිශ්චිතතා, ආර්ථික ඉදිරි දැක්ම කෙරෙහි අභියෝග එල්ල කරන අතර, මෙම ඉදිරි දැක්ම මැදපෙරදිග කලාපයේ යුදමය වාතාවරණය පවතින කාල සීමාව සහ එහි බලපෑමේ ප්‍රමාණය මත මෙන්ම, එමගින් ගෝලීය බලශක්ති වෙළඳපොළ, වෙළඳ ප්‍රවාහ සහ මූල්‍ය තත්ත්ව වෙත ඇති විය හැකි අහිතකර බලපෑම් මත තීරණය වනු ඇත. මැදපෙරදිග යුද තත්ත්වයෙහි බලපෑම පිළිබිඹු කරමින් මෙතෙක් අඩු මට්ටමක පැවති උද්ධමනය, පෙර පුරෝකථනය කළ මට්ටමට වඩා කඩිනමින් ඉලක්කය වෙත ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව යටතේ ක්‍රියාත්මකවන මුදල් ප්‍රතිපත්තිය, උද්ධමන අපේක්ෂා ස්ථාවර කිරීමට සහ මිල ස්ථායීතාව පවත්වා ගැනීමට සහාය වෙමින්, දත්ත මත පදනම්ව සහ ඉදිරි දැක්මක් සහිතව අඛණ්ඩව ක්‍රියාත්මකවනු ඇත. මධ්‍යස්ථ වේගයකින් වුවද, මූල්‍ය පද්ධතියෙන් පෞද්ගලික අංශය වෙත ලබා දෙන ණය වර්ධනය අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර, මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් වෙළඳාම, සංචාරක සහ මූල්‍ය ප්‍රවාහ මත ඇති විය හැකි පීඩන මධ්‍යයේ විදේශීය අංශයේ තත්ත්වය ගැටලුකාරී නොවන මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂිතය. මැදි කාලීන ණය තිරසරභාවය තහවුරු කිරීම සඳහා අතිශයින් වැදගත් වන ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාමාර්ග, ප්‍රධාන ප්‍රතිපත්තිමය ප්‍රමුඛතාවක් ලෙස තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සමස්තයක් ලෙස ගත් කළ, සාර්ව ආර්ථික ස්ථායීතාව යළි අත්කර ගැනීමේ දී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය මෙන්ම, ස්ථාවර ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට අනුකූලව කටයුතු කිරීම තුළින් ඉදිරියේ දී තිරසර සහ සියලු දෙනාට ප්‍රතිලාභ හිමිවන ආර්ථික වර්ධනයක් අත්කර කරගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, තීව්‍ර වූ ගෝලීය අවිනිශ්චිතතා සහ දේශගුණික විපර්යාස තුළින් අඛණ්ඩව ඇතිවන බලපෑම් මධ්‍යයේ, ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට සහ සාර්ව ආර්ථික හා මූල්‍ය ස්ථායීතාව සුරක්ෂිත කිරීම සඳහා ප්‍රතිපත්තිමය ස්වාරක්ෂක අඛණ්ඩව පවත්වා ගැනීම, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම හා එම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ දී ස්ථිරසාර ප්‍රවේශයක් අනුගමනය කිරීම අත්‍යවශ්‍යවනු ඇත.

PDF

Published Date: 

Monday, April 20, 2026