මහ බැංකු අධිපති විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පළ වූ සාවද්‍ය මාධ්‍ය වාර්තා පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුව පැහැදිලි කරයි

2017 වසර තුළ උද්ධමනය ඉහළ යෑම සඳහා හේතුව වශයෙන් එකතු කළ අගය මත බදු වෙනස්කම් සිදු කිරීමේ බලපෑම පිළිබඳ ව ඇතැම් මාධ්‍යවල පළ වූ වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත. 

ඒ අනුව, 2017 අංක 6 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී මහ බැංකු අධිපති විසින් 2017 වසරේ දී උද්ධමනය ඉහළ යෑමට අදාළ ව සිදු කරන ලද ප්‍රකාශය පිළිබඳ ව මහ බැංකුව මෙ සේ කරුණු පැහැදිලි කරනු ලබයි. එහි දී, බදු ව්‍යුහයට සිදු කරන ලද ගැලපීම්වලට අමතර ව අහිතකර කාලගුණ තත්ත්වය හේතු කොට ගෙන සැපයුම් අංශයේ ඇති වූ අවහිරතා, ජාත්‍යන්තර වෙළෙඳ භාණ්ඩවල මිල ගණන් ඉහළ යෑම සහ පදනම් බලපෑම ද 2017 වසරේ උද්ධමනය ඉහළ යෑමට බලපාන ලද බව අධිපතිවරයා විසින් ප්‍රකාශ කරන ලදි. ඉහත දක්වන ලද සාධක මහ බැංකුවට පාලනය කළ නො හැකි වන අතර ශ්‍රී ලංකා මහ බැංකුව 2016 වසරේ මුල් භාගයේ සිට දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් පවත්වා ගෙන යෑම තුළින් ඉල්ලුම නිසා ඇති විය හැකි උද්ධමන පීඩනය සහ අහිතකර උද්ධමන අපේක්ෂා අවම කිරීමට කටයුතු කොට ඇත.

Published Date: 

Wednesday, September 27, 2017