මහ බැංකු අධිපති විසින් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් පළ වූ සාවද්‍ය මාධ්‍ය වාර්තා පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුවේ පැහැදිලි කිරීම

2017 මැයි 9 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍යවල පළ වූ සාවද්‍ය වාර්තා කීපයක් වෙත මහ බැංකුවේ අවධානය යොමු වී ඇත. අවිධිමත් ගනුදෙනු හරහා සේවක අර්ථසාධක අරමුදලට පාඩු සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු සහ අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු/නිලධාරින් මාරු කළ බව මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කර ඇතැ යි ඉහත සඳහන් පුවත්පත් වාර්තාවල සඳහන් වේ. 

ඒ අනුව, එම පුවත්පත් වාර්තාවල පළ වී තිබූ සාවද්‍ය කරුණු සම්බන්ධ ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පහත ප්‍රකාශය නිකුත් කරනු ලැබේ. 

2013 - 2016 කාලය තුළ සේවක අර්ථසාධක අරමුදල විසින් රාජ්‍ය සුරැකුම්පත්වලට අදාළ ව සිදු කරන ලද ගනුදෙනු පිළිබඳ ව පරීක්ෂා කිරීමට අභ්‍යන්තර කමිටුවක් මහ බැංකු මුදල් මණ්ඩලය විසින් පත් කරන ලදී. එම පරීක්ෂණයේ මූලික අවධානය අදාළ ගනුදෙනු පිළිබඳ ව යොමු කෙරුණු අතර එහි දී කිසිදු නිලධාරියෙකුගෙන් පැහැදිලි කිරීම් ලබා ගෙන නො තිබුණි. එම පරීක්ෂණයේ මූලික අනාවරණයන් සලකා බලා මහ බැංකු අත්පොතට අනුව තවදුරටත් පරීක්ෂණ සිදු කිරීමට සහ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හට තම පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් දීමට සහකාර අධිපතිවරයෙකු වැඩිදුර පරීක්ෂණ සඳහා පත් කිරීමට මුදල් මණ්ඩලය තීරණය කරන ලදී. 

එම වැඩිදුර විමර්ශනයට පසු ව එහි නිගමන සලකා බලා මුදල් මණ්ඩලය විසින් තවදුරටත් අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීමට ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පත් කරනු ඇත.

මෙම වසර තුළ මහ බැංකුවේ අභ්‍යන්තර කාර්යය පටිපාටීන්ට අනුව සේවක පත්වීම් හා නිලධාරීන්ගේ රාජකාරි කටයුතු මාරු කිරීම් සිදු කරන ලද අතර සේවක අර්ථසාධක අරමුදලට සම්බන්ධ විමර්ශනයන්හි දී අනාවරණය වූ කරුණු පදනම් කර ගෙන කිසිදු මහ බැංකු නිලධාරියෙකු සේවා ම‍ාරු කිරීමකට යටත් කර නෙ මැත. 

අදාළ වැඩිදුර විමර්ශන කටයුතුවල දී යම් වරදක් සිදු කර ඇති බවට කරුණු හෙළි වුව හොත් මහ බැංකු අත්පොතට අනුව ඔීනෑ ම නිලධාරියෙකුට එරෙහි ව විනය ක්‍රියාමාර්ග ගනු ඇත. 

යම් කිසි වැරදි ක්‍රියාවක් සිදු කර ඇති බවට අදාළ පරීක්ෂණ මඟින් අනාවරණය වුව හොත් එම කරුණු නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත යොමු කිරීමට ද අවශ්‍ය පියවර ගනු ඇත. 

Published Date: 

Friday, May 12, 2017