ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම පිළිබඳ දෙවන ජාතික අවදානම ඇගයීමේ සංක්ෂිප්ත වාර්තාව නිකුත් කරයි

2021/22 වර්ෂය සඳහා වන මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ ජාතික අවදානම ඇගයීමේ සංක්ෂිප්ත වාර්තාව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර, එය ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමඟ එක්ව සිදු කළ ජාතික අවදානම ඇගයීම මත පදනම්ව සකස්කර ඇත. රට තුළ පවතින මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම පිළිබඳ අවදානම් හඳුනා ගැනීම මෙම ඇගයීමෙහි අරමුණ විය. මෙම ඇගයීම මගින් ශ්‍රී ලංකාව මුහුණ දෙන වඩාත්ම සැලකිය යුතු මුදල් විශුද්ධිකරණ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම පිළිබඳ තර්ජන, ඊට නතුවීමට ඇති ඉඩකඩ සහ අවදානම් ඉස්මතු කරයි.

මෙම ජාතික අවදානම ඇගයීම මගින් ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම, අල්ලස් හා දූෂණය, සහ වෙළඳාම පදනම් කරගත් මුදල් විශුද්ධිකරණය ඇතුළු රේගු ආශ්‍රිත වැරදි, වඩාත් බහුලව පවතින මුදල් විශුද්ධිකරණයට අදාළ මූලික වැරදි ලෙස හඳුනාගෙන ඇති අතර, ඊට අදාළ මුදල් විශුද්ධිකරණ තර්ජන මට්ටම ඉහළ-මධ්‍යම අගයක පවතින බවට ශ්‍රේණිගත කර ඇත. වංචා සිදුකිරීම්, මංකොල්ලකෑම් සහ පාරිසරික හා ස්වභාවික සම්පත් ආශ්‍රිත අපරාධවල මුදල් විශුද්ධිකරණ තර්ජන මට්ටම මධ්‍යම මට්ටමේ පවතියි. මිනිස් වෙළඳාම/ජාවාරම, බදු ආශ්‍රිත වැරදි සහ නීති විරෝධී හා අවිධිමත් අන්දමින් මසුන් ඇල්ලීම සිදුකරන්නන් නිරතවන ජාවාරම් සම්බන්ධයෙන් පහළ-මධ්‍යම මුදල් විශුද්ධිකරණ තර්ජන මට්ටමක් ඇති බවට තක්සේරු කර ඇති අතර, මුදල් ව්‍යාජානුකරණය සම්බන්ධයෙන් පහළ මුදල් විශුද්ධිකරණ තර්ජන මට්ටමක් නිරීක්ෂණය කර ඇත.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, September 14, 2023