බිම්පුත් ෆිනෑන්ස් පී එල් සී 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත්කල බලපත්‍රය අවලංගු කිරීම

011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත (මුදල් ව්‍යාපාර පනත) යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් ලෙස කටයුතු කරන බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනය එම පනතේ ප්‍රතිපාදන සහ එකී පනත යටතේ නිකුත් කරඇති සමස්ථ මුල්‍ය පද්ධති ස්ථායිතාවය සපල කරගැනීමේ අරමුණින් පනවන ලද පොදු විධාන සහ එම ආයතනයේ දුර්වල මුල්‍ය තත්ත්වය පිළිබද ගැටළු නිරාකරණය කර ගැනීමේ අරමුණින් පණවන ලද විශේෂිත විධාන සහ  නීතීන් ගණනාවක්  අඛණ්ඩව කඩකරමින්/ පටහැනි ලෙස කටයුතු කරමින් පැවතුනි. මෙම තත්වය හේතු කොටගෙන පැන නැගුණු  ඌන ප්‍රාග්ධන මට්ටම, ගුණාත්මක බවින් අඩු වත්කම්  සහ අඛණ්ඩව වාර්තා වූ අලාභයන් හේතුවෙන් එම ආයතනයේ මුල්‍ය තත්වය තවදුරටත් දුර්වල වී පැවතුනි.

මුදල් ව්‍යාපාර පනතේ  ප්‍රතිපාදන සහ එකී පනත යටතේ නිකුත් කරඇති විධාන සහ  නීතීන් වලට මෙන්ම බැංකු  නොවන මුල්‍ය ආයතන එකාබද්ධ කිරීමේ සැලැස්ම සදහා ද අනුගතවීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය (මුදල් මණ්ඩලය) විසින්  කිහිප අවස්ථාවකදී කාලය දීර්ඝ කිරීම් සිදුකලද  එම පනතේ  ප්‍රතිපාදන සහ එකී පනත යටතේ නිකුත් කරඇති විධාන සහ  නීතීන් වලට අනුගත වීමටත් , ආයතනයේ පැවති දුර්වල තත්ත්වය මගහරවා ගනිමින් සෑහීමකට පත්විය හැකි වර්ධනයක් පෙන්වීමටත් ආයතනය අපොහොසත් විය.

මෙම තත්වය සලකා බැලු මුදල් මණ්ඩලය විසින් 2023.09.01 දින සිට බලපැවැත්වෙන පරිදි මුදල් ව්‍යාපාර පනත යටතේ මුදල් ව්‍යාපාර කටයුතු වල නිරත වීමට  බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනය වෙත ලබා දී තිබු බලපත්‍රය අවලංගු කිරීමට තීරණය කරන ලදී. ඒ  අනුව එම දින සිට බලපැවැත්වෙන පරිදි බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනයට මුදල් ව්‍යාපාර කටයුතු වල නිරත විය නොහැක.

මුදල් මණ්ඩලය විසින් නිකුත් කර ඇති විධාන වලට බොහෝ දුරට අනුකුල වෙමින් බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනය විසින් එහි තැන්පතු වගකීම් වලින් වැඩි කොටසක් 2022 වර්ෂය තුලදී තැන්පතුකරුවන් වෙත ආපසු ගෙවීමට කටයුතු කර ඇති අතර, මෙතෙක් තම හිමිකම් ලබා නොගත් තැන්පතුකරුවන් වෙත ශ්‍රී ලංකා තැන්පත් රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය (තැන්පතු රක්ෂණ ක්‍රමය) ඔස්සේ, එම යෝජනා ක්‍රමයේ රෙගුලාසිවලට අනුකූලව, එක් තැන්පතුකරුවෙකු වෙත රුපියල් 1,100,000/- ක් වූ උපරිමයකට යටත්ව රක්ෂණ වන්දි ගෙවීමට කටයුතු කරනු ඇත. ඒ අනුව, තැන්පතු රක්ෂණ ක්‍රමයේ රෙගුලාසිවලට අනුකූලව මේ වන තෙක් තම හිමිකම් ලබා නොගත් බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනයේ සුදුසුකම් ලත් සියලුම තැන්පත්කරුවන් හට ස්වකීය හිමිකම්පෑම් ඉදිරිපත් කිරීමට යටත්ව "බලපත්‍රය අවලංගු කළ දින සිට වසර දෙකක් ඇතුළත" හෝ "නිසි අධිකරණයක් විසින් ඈවරකරුවෙකු පත් කිරීම" යන කරුණු අතරින් පළමුව සිදුවන කරුණ දක්වා කාල පරාසය තුල සිය මුලු තැන්පතු මුදල ම නැවත ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනයේ සියළුම ණය ගැතියන් වෙත නියමිත පරිදි එම ආයතනය නමින් ඇති බැංකු ගිණුම් හරහා පමණක් තම ගෙවිය යුතු මුදල් ආපසු ගෙවන ලෙසත් එකී ගෙවීම් සදහා නියමිත වාර්තා තමන් සතුව තබා ගැනීමටත් උපදෙස් දෙනු ලැබේ.

පහත මාධ්‍යය ඔස්සේ බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව ඇමතිම මගින් වැඩිදුර කරුණු විමසීම් කල හැක.

දුරකථන  : 0112 477229, 0112 477504
ෆැක්ස්    : 0112 477 738
විද්‍යුත් තැපෑල : snbfi_query@cbsl.lk

Published Date: 

Friday, September 1, 2023