කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2024 මැයි මාසයේ දී පහළ යෑමක් පෙන්නුම් කළේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 අප්‍රේල් මාසයේ වාර්තා වූ සියයට 1.5හි සිට 2024 මැයි මාසයේ දී සියයට 0.9ක් දක්වා පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර කාණ්ඩයේ අයිතමවල මිල 2024 මැයි මාසයේ දී නොවෙනස්ව පැවතුණි (එනම් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර කාණ්ඩයේ උද්ධමනය 2024 අප්‍රේල් මාසයේ වාර්තා වූ සියයට 2.9ට සාපේක්ෂව 2024 මැයි මාසයේ දී සියයට 0.0ක් විය). කෙසේ වුවද, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර නොවන උද්ධමනය 2024 අප්‍රේල් මාසයේ පැවති සියයට 0.9හි සිට 2024 මැයි මාසයේ දී සියයට 1.3 දක්වා ඉහළ ගියේය. මේ අතර, මාසික පදනම මත මනිනු ලබන උද්ධමනය 2024 මැයි මාසයේ දී තවදුරටත් පහළ ගියේය. ඒ අනුව, ආහාර කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට 0.37ක මිල පහළ යෑම් සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට 0.20ක මිල පහළ යෑම් හේතුවෙන් 2024 මැයි මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික වෙනස සියයට -0.57ක් ලෙස වාර්තා විය. මේ අතර, ආර්ථිකයේ යටිදැරි උද්ධමන ප්‍රවණතා පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2024 අප්‍රේල් මාසයේ පැවති සියයට 3.4හි සිට 2024 මැයි මාසයේ දී සියයට 3.5 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, May 31, 2024