ජා.පා.මි.ද. මත පදනම් වූ උද්ධමනය 2021 මැයි මාසයේ දී ඉහළ යන ලදී

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)  වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 අප්‍රේල් මාසයේ පැවති සියයට 5.5හි සිට 2021 මැයි මාසයේ දී සියයට 6.1 දක්වා ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අප්‍රේල් මාසයේ දී පැවති සියයට 9.7හි සිට 2021 මැයි  මාසයේ දී සියයට 10.3 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අප්‍රේල්   මාසයේ පැවති සියයට 2.2හි සිට 2021 මැයි  මාසයේ දී සියයට 2.5 දක්වා ඉහළ ගියේය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 අප්‍රේල් මාසයේ දී පැවති සියයට 5.3හි සිට 2021 මැයි  මාසයේ දී සියයට 5.4 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය. 

2021 මැයි මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස 0.95ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සදහා හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයේ, ප්‍රධාන වශයෙන්, පොල්තෙල්, සහල් සහ නැවුම් මත්ස්‍ය මිල ගණන්වල ඉහළ යෑමක් දක්නට ලැබුණි. තවද, සෞඛ්‍ය (රසායනාගාර ගාස්තු, පෞද්ගලික රෝහල්/ සාත්තු නිවාස ගාස්තු),  නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන (එල්.පී.ගෑස්) සහ ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තු (නඩත්තු කටයුතු සඳහා  අවශ්‍ය අමුද්‍රව්‍ය)  යන උප කාණ්ඩවල මිල ගණන් ඉහළ යෑම් හේතුවෙන්, ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි ඉහළ යෑමක් 2021 මැයි මාසයේ දී වාර්තා විය.

තවද, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය 2021 අප්‍රේල් මාසයේ දී පැවති සියයට 4.1හි සිට 2021 මැයි  මාසයේ දී සියයට 4.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික 2021 මැයි  මාසයේ දී සියයට 4.4හි නොවෙනස්ව පැවතුණි. 

සම්පුර්ණ ලිපිය

 

Published Date: 

Monday, June 21, 2021