කො.පා.මි.ද. මත පදනම් වූ උද්ධමනය 2021 ජුනි මාසයේ දී සියයට 5.2 දක්වා ඉහළ යන ලදී

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 මැයි මාසයේ පැවති සියයට 4.5හි සිට 2021 ජුනි මාසයේ දී සියයට 5.2 දක්වා ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 මැයි මාසයේ පැවති සියයට 9.9හි සිට 2021 ජුනි මාසයේ දී සියයට 11.3 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 මැයි මාසයේ පැවති සියයට 2.2හි සිට 2021 ජුනි මාසයේ දී සියයට 2.5 දක්වා ඉහළ ගියේය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි. දර්ශකයෙහි වෙනස 2021 මැයි මාසයේ පැවති සියයට 3.9හි සිට 2021 ජුනි මාසයේ දී සියයට 4.1 දක්වා ඉහළ ගියේය.

2021 ජුනි මාසයේ දී කො.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 1.47ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. තවද, ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල මාසික වෙනස්වීම් පිළිවෙළින්, සියයට 1.25ක් සහ සියයට 0.21ක් ලෙස වාර්තා විය. ඒ අනුව, ආහාර කාණ්ඩයේ සහල්, එළවළු සහ නැවුම් මත්ස්‍ය මිල ගණන් ඉහළ ගිය අතර, පලතුරු මිල ගණන්හි පහළ යෑමක් වාර්තා විය. මේ අතර, සෞඛ්‍ය (ඖෂධ මිලදී ගැනීම්, ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා වන ගෙවීම්) සහ ප්‍රවාහන ( පෙට්‍රල්, ඩීසල්) යන උප කාණ්ඩවල මිල ගණන් ඉහළ යෑම් හේතුවෙන්, ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි ඉහළ යෑමක්, 2021 ජුනි මාසයේ දී වාර්තා විය.

ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන වාර්ෂික ලක්ෂ්‍යමය මූලික උද්ධමනය, 2021 ජුනි මාසයේ දී සියයට 3.2හි නොවෙනස්ව පැවතුණි. තවද, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2021 ජුනි මාසයේ දී අඛණ්ඩව පස්වන මාසයටත් සියයට 3.0හි නොවෙනස්ව පැවතුණි.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Wednesday, June 30, 2021