2018 ඔක්තෝබර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තුළ මෑතකදී දක්නට ලැබුණු පීඩනය 2018 ඔක්තෝබර් මාසයේ දී ද පැවතිණි. ආනයන වියදම ඉහළ යෑමත් සහ අපනයන සුළු වශයෙන් වැඩිවීමත් හේතුකොට ගෙන ඔක්තෝබර් මාසයේ දී වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස පුළුල් විය. කෙසේ වුවත්, ඇතැම් ආනයන මත මෑතකදී පැන වු යම් සීමා කිරීම්වල බලපෑම් හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළදී ආනයන වැඩිවීමේ ප්‍රවණතාවය පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අතර, ඔක්තෝබර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ හිතකර වර්ධනයක් වාර්තා කළ අතර, සංචාරක ඉපැයීම්වල සුළු වර්ධනයක් දක්නට ලැබුණි. මූල්‍ය ගිණුම තුළ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඹ කොටස් වෙළඳපොළ වෙතින් විදේශීය ආයෝජන ආපසු රැගෙන යෑම් දක්නට ලැබුණි. එලෙස විදේශ විනිමය ගලා යෑම් සහ ආනයන වියදම් ගෙවීම් හේතුවෙන් දේශීය විදේශ විනිමය වෙළඳපොළ මත පීඩනයක් ඇති විය. එහි ප්‍රතිඵලයක් ලෙස, වසරේ පළමු මාස දහය තුළදී ශ්‍රී ලංකා රුපියල සියයට 12.3 කින් අවප්‍රමාණය විය. දළ නිල සංචිත ප්‍රමාණය සැප්තැම්බර් මස අවසානයේ පැවති එ.ජ. ඩොලර් බිලියන 7.2 සිට ඔක්තෝබර් මස අවසානයේදී එ.ජ. ඩොලර් බිලියන 7.9 දක්වා ඉහළ ගියේය. ඒ සඳහා එ.ජ. ඩොලර් බිලියන 1 ක් වූ විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම ලැබීම ප්‍රධාන වශයෙන් දායක විය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Friday, December 21, 2018