ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන්ගේ නියාමන සහ අධීක්ෂණ අධිකාරිය ලෙස කටයුතු ආරම්භ කිරීම

දැනට ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සහතික කිරීම සඳහා, බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වැනි මුදල් පැවරීම් සේවා සපයන ආයතන ශ්‍රී ලංකා මහ බැංකුව හෝ අදාළ වෙනත් අධිකාරී ආයතන විසින් නියාමනය කරනු ලැබේ. කෙසේ වෙතත්, ඒ හා සමාන සේවා සපයන සමහර ආයතන මුදල් පැවරීම් පද්ධතියට බාධා එල්ල විය හැකි අයුරින්ද මුදල් විශුද්ධිකරණය වැලැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම (Anti-Money Laundering/Countering of Financing of Terrorism) පිළිබඳ වූ නියාමන රාමුවට යටත් නොවෙමින්ද  විධිමත් පද්ධතියෙන් පරිබාහිරව ක්‍රියාත්මක වේ.

මෙයට විසඳුමක් ලෙස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් 2005 අංක 28 දරන ගෙවීම් සහ බේරුම් කිරීමේ පද්ධති පනතේ විධිවිධාන යටතේ 2024 අප්‍රේල් 20 දිනැති 2024 අංක 1 දරන මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා (Money or Value Transfer Service) සපයන්නන් සඳහා වන නියෝග නිකුත් කරන ලදී. ඒ අනුව, 2024 ජූනි 3 දින සිට බලපැවැත්වෙන පරිදි, මෙම නියෝග වලට අනුව සියලුම මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන් ලියාපදිංචි වීම සහ අධීක්ෂණයට යටත් වීම සිදු විය යුතු අතර එමගින් ලියාපදිංචි නොකළ හෝ බලපත්‍ර නොමැති සේවා සපයන්නන් හට ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු විධිමත් කිරීමටත්, විධිමත් මාර්ග හරහා මුදල් පැවරීම් සේවා ව්‍යාපාරයේ නිරත වීමටත් අවස්ථාව සලසනු ලබයි.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Wednesday, June 12, 2024